රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ ඇතිකරගත් මතභේදයකින් පසු මොස්කව් නුවර ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීමෙන් ලොව පුරා අවධානයට ලක්වූ වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානියා යෙව්ගිනි ප්‍රිගෝෂින් පෙරේදා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දිගු කාලයක් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපතම හිතවතකු ලෙස සිටි 62 හැවිරිදි ප්‍රිගෝෂින් මේ අනතුරට ලක් වී ඇත්තේ ඔහුට අයත් බව කියන එම්බ්‍රායර් වර්ගයේ පෞද්ගලික ජෙට් යානාවකින් මොස්කව් නුවර සිට සාන්ත පීටර්සන්බර්ග් නුවර බලා පියාසර කරමින් සිටියදී බවත් වාර්තා වේ. ඒ මොහොතේ ඔහු සමඟ ඔහුගේ සමීපතමයන් 6 දෙනකු සහ නියමුවන් ඇතුළු ගුවන් යානා කාර්ය මණ්ඩලයේ තිදෙනකු සිටි බවත්, අනතුරින් සියලුදෙනාම ජීවිතක්ෂයට පත් වූ බවත් රුසියානු මාධ්‍ය තහවුරු කළේය.
මොස්කව් නුවරින් ගමන් ආරම්භ කළ එම ජෙට් යානය ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු එකවරම ජෙට් යානයේ පහළට පියාසර කරමින් අධික වේගයෙන් පොළොවේ ගැටී ගිනි ගෙන විනාශ වූ බව වැඩිදුරටත් වාර්තාවේ. ගුවන් අනතුර සිදුවූයේ මොස්කව් නුවරට කිලෝමීටර් 180ක පමණ දුරින් පිහිටි ට්වෙර් පළාතේදී වන අතර, මේ අනතුර සම්බන්ධව රුසියානු ගුවන් ප්‍රවාහන ඒජන්සිය මගින් කඩිනමින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. යුක්රේන ආක්‍රමණය සහ ව්ලදිමිර් පුටින්ගේ නායකත්වය බරපතළ ලෙස විවේචනයට ලක් කරමින් ඔහු විසින් නායකත්වය සපයනු ලැබූ වැග්නර් කුලී හමුදාව සමඟ රුසියාවේ කැරැල්ලක් මෙහෙය වූ පුටින්ගේ සමීපතම මිතුරා වූ යෙව්ගිනි ප්‍රිගෝෂින් ඊයේ සියල්ල හැර දමා බෙලරුසියාව දක්වා පසුබැස ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුර සිදුවන විට රුසියානු ජනාධිපතිවරයා සෝවියට් රුසියාව සහ නාසි ජර්මානුවන් අතර වසර 1943දී පැවැති දරුණු යුද ගැටුමේ 80 වැනි සංවත්සර සැමරුම් උත්සවයකට සහභාගි වෙමින් සිටි බවත්, සිය දේශනයේදී මේ අනතුර සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.