විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් සම්බන්ධ වූ දියමන්ති චිත්‍රපටය ලාංකේය සිනමා ඉතිහාසයේ 331 වන චිත්‍රපටය ලෙසින් තිරගත වූයේ 1976 වසරේ මැයි මස 28 වනදාය. ඔබේසේකරයන් තිර නාටකය ලියා තැබුවේ අහඹු ලෙස සොයාගත් ප්‍රාණීන් තිදෙනකු එක්කාසුකොටගෙනය. ඔවුන් කොතැනින් කොහාම සොයාගත්තද, තිදෙනා පැති තුනටකට ගමන් ගත් මාර්ග මත ගමනේ යෙදුණ ඔවුන් එකම තලයකට ගෙන චිත්‍රපටය නිර්මාණය කරන්නට ඔබේසේකරයන් සමත් විය. මෙකී චරිත තුන දියමන්තියෙන් අපට හමුවන්නේ විජේතිලක, ධර්මේ සහ ගුණේ ලෙසිනි.
විජේතිලක ලෙසින් විජය කුමාරණතුංග චිත්‍රපටය හා සම්බන්ධ වන විට සෝමසිරි දෙහිපිටියගේ භූමිකාව වන්නේ ගුණේය. අනෙක් චරිතය වන ධර්මේගේ චරිතය භාර වන්නේ විමල් කුමාර ද කොස්තාටය. තිදෙනාගේ එකතු වීම් ආරම්භ වන්නේම කරන්නට කිසිත් නැති නිසාම මිස අන්කවර හෝ විජ්ජාවක් නිසා නොව ජාඩියට මූඩිය මෙන් ඔවුන් පෑහෙන්නේම සමාජය තුළ නන්නත්තාර වීම හේතුවෙනි. අහඹු ලෙසින් තිදෙනාගේ හමුව වුවද චිත්‍රපටය කෙමෙන් විකාශය වන විට මොවුන් කවුරුන්ද යන වග ප්‍රේක්ෂකයා හඳුනාගෙන හමාරය. රැකියා විරහිත උපාධිධරයකු වූ විජේතිලකත්, අයි.ආර්. සී. ලෙවල් එකෙන් රත් කරන ගුණේත්, ධර්මේත් දැන් මිතුරන්ය. චිත්‍රපටය අතරතුරදී ධර්මේ මහ උළුගෙදර සිට පැමිණියෙක් බව ඒත්තුගන්වන විට ගුණේ ද මහ උළුගෙදර උළු ගණන් කෙරුවකු බව ඔබේසේකරයන් කියා සිටින්නේ ඊට පෙරය.
ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැති හෙයින් තමා සන්තකව තිබූ වටිනාම දේ වික්කා යැයි ගුණේට බිරිය පැවසීමෙන්ම, ඉන් එහා කතා කිරීමෙන් පලක් නැති බව ඔහුට වැටහෙන්නට ඇත. ඒ නිසාම ඔහුගේ ගමන්මඟ වෙනස් වීමේ හැරවුම් ලක්ෂ්‍යය ද එයම විය.
චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යන විට මේ කතා අස්සේ මිතුරන් තිදෙනාට පිරිමි මළ සිරුරක්, දියමන්ති මාලයක් පිළිබඳ විස්තර මෙන්ම එහි අයිතිකරුවන් පිළිබඳව විස්තර සහිත ලිපියක්ද ලැබෙන්නේ අලුත් කතාවකට මඟ පාදමිනි. අලුත් කතාවට මාතෘකාව එසේ ලියැවෙන විට චිත්‍රා සපරමාදු ලෙසින් චරිත නිරූපණය කරන මාලිනී ෆොන්සේකා චිත්‍රපටයට එක්වන්නේ මෙතැනදීය. මාපියන් නොමැති චිත්‍රාව රැක බලා ගන්නේ ඔහුගේ ඥාතිවරයකු විසිනි. ඔහු මැණික් ව්‍යාපාරිකයෙකි.
විජේතිලක, ගුණේ හා ධර්මේගේ ඒකායන ප්‍රාර්ථනාව දියමන්ති මාලය කෙසේ හෝ ලබා ගැනීම නිසා ඔවුන් එහි පළමු පියවර ලෙස අඩිය තබන්නේ පාළු නිවසේ මරා දමා තිබූ පුද්ගලයාගේ මළ ගෙදරටය. එයට චිත්‍රාද පැමිණ සිටියාය. විජේතිලකට තම ඉලක්කයට ළං වීමට තවත් පහසු කාර්යයක් වූයේ චිත්‍රා හා මිතුරුකම් පැවැත්වීමට ඔහුට හැකියාව ලැබීමයි. එය ඔවුන් තිදෙනාම ලැබූ අමතර වාසියකි. කතාව එසේ වන විට විජේතිලක චිත්‍රාට පවසන්නේ තම ආචාර්ය උපාධිය සඳහා මෙවන් මිනී මැරුම් පිළිබඳව අධ්‍යයනයන් කරනා බවයි. ඔවුන් ඉන්පසුව චිත්‍රාද සමඟ කල්දේරාගේ ක්ලබ් එකට යන්නේ මරා දැමූ මිනිසාගේ තොරතුරු සෙවීමටයි. නමුත් ඒ මුවාවෙන් විජේතිලකලාගේ වුවමනාව වූයේ මාලයේ තොරතුරු සොයාගැනීමය.
විජේතිලකලා ක්ලබ් එකට ගොඩවැදුණු රාත්‍රිය රැඟුම් ගැයුම් සමඟින් මනරම් සංගීතයෙන් පිරී ඉතිරී යන්නට විය.
“ගිගිරි ගීත රාවේ”
හැම චිත්‍රපටයකම සිදුවන්නා වාගේ දියමන්ති චිත්‍රපටයේ ද ලිපි ලේඛන අවුස්සා බලන්නේ රැඟුම් ගැයුම් සිදුවන මොහොතේය. කොහොම කෙරුවත්, කොහේ ගියත් දැන් හතරදෙනාම සිටින්නේ විනෝදයෙනි. ඒ යොවුන් වියේ චමත්කාරයයි. සුන්දරත්වයෙන් පිරි වසන්තයක් යොවුන් වියට එළැඹෙන්නේ කෙදිනද එය මිහිරිතම කවියක් වැනිය.
“යොවුන් වසන්තයේ”
කතාවේ තවත් හැරවුමක් සිදුවන්නේ මෙතැනදීය. ක්ලබ් එකේ කල්දේරාට සෙමින් අවබෝධ වන්නේ කවර හෝ දිනක විජේතිලකලා ඔහුට කරදරයක් වීමට ඉඩ ඇති බවයි. මේ හේතුව නිසාම කල්දේරා චිත්‍රාගේ ඥාතිවරයාට සහ චිත්‍රාට පවසා සිටින්නේ විජේතිලකලා යනු වැදගැම්මකට නැති තිදෙනෙකු බවත් ධර්මේ සහ ගුණේ හිරගෙදර සිටි අයි.ආර්.සී. කාරයන් බවත්ය. චිත්‍රාගේ නිවෙසින් තිදෙනාටම ටිකට් එක කැපෙන්නේ එදාය. ඒ සිදුවීම් එසේ වන විට චිත්‍රාට දියමන්ති මාලය ලැබීමේ දිනය ළඟා වුණි. එය ලැබෙන්නේ ගෝල්ෆේස් හෝටලයේදීය.
මේ වසන්ත ඔබේසේකරයන් නිර්මාණය කළ දියමන්ති චිත්‍රපටයේ කතා සාරාංශයයි.
මෙවර අගෝස්තු 25 වන සිකුරාදා රාත්‍රී 10.00ට ජාතික රූපවාහිනියේ “සිනෙ ඡායා” ඔස්සේ විකාශය වන දියමන්ති චිත්‍රපටයට දිස්නය ගෙන දෙන නළු නිළි කැල වන්නේ විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, සෝමසිරි දෙනිපිටිය, විමල් කුමාර ද කොස්තා, රෙක්ස් කොඩිප්පිලි, ෆරීනාලායි, පියසේන අහංගම, පී.බී. මයිල්ලෑව, නාමෙල් වීරමුණි, නීලවතුර විජේවර්ධන, ඩබ්ලිව්. ජයසිරි, මර්සි එදිරිසිංහ, ලයනල් විජේසිංහ, රූපා ගෝමස් හා රත්නාවලී කැකුණවලය. චිත්‍රපටයේ අන්තර්ගත වන යොවුන් වසන්තයේ, ගිගිරි ගීත රාවේ, ඇලඩින්ගේ පුදුම පහන යන ගීත සියල්ල රචනා කර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න වන අතර, සංගීතය ඩී.ආර්. පීරිස්ගෙනි. ඒකල මෙහි ගීත පොත් මුද්‍රණය කර තිබූ අතර, එය මිලදී ගත හැකිව තිබුණේ මරදාන ශාන්ති පොත්හලෙනි.
මේ චිත්‍රපටය අද (25) රාත්‍රී 10.00ට ජාතික රූපවාහිනියේ සිනේ ඡායා වැඩසටහනින් විකාශය වීමට ප්‍රථම සෙනෙෂ් දිසානායක විසින් ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම, පුවත්පත් කලාවේදී හා සිනමා විචාරක රොහාන් වෙත්තසිංහ සමඟින් සිනමා විචාරයක් ද රාත්‍රී 9.30ට පවත්වනු ලබයි.