සිංහල සිනමාවේ විකට රජු, ෆ්‍රෙඩී සිල්වා හඬ, රුව යළි මවන්නට වෙර දරන බාල පුතු, ප්‍රගීත් සිල්වා දැන් හමුවෙමු.
මොකද මේ දවස්වල කරන්නේ?
සින්දු පුහුණු වීම් කරගෙන යනවා. ටෙලි නාට්‍ය දෙකකට වගේම, වේදිකා නාට්‍යයකටත් ආරාධනා ලැබුණා. ප්‍රසංග වේදිකාවටත් ගොඩවෙනවා. ඉතින්, ඔහොමයි ජීවිතේ.
තාත්තාගෙන් ඉගෙනගත් දේ ගැන ඇහැව්වොත්?
කරන වැඩේ හරියට කරන්න ඕනි. ඒ වගේම කාන්තා ඇසුරේදී පරෙස්සම් වෙන්නත් ඕනි. ඒ මොකද, අන්තිමේදී ළඟ ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි.
චිත්‍රපටවලටත් සින්දු කිවුවද?
තාම ආරාධනා ලැබුණෙ නැහැ. ඒත් මම පියාගේ සින්දු ගායනා කළ ඩී.වී.ඩී.වලට ඉහළ ප්‍රතිචාර තියෙනවා.
එළිබහින්න කල් ගියා වැඩි නැද්ද?
එහෙම හිතන්නෙ නැහැ. අයියා ජනේෂ් කලාවේ හිටියා. මං මගේ පාඩුවේ වැඩ කරගෙන ගියා. දැන් ඔහු නැති නිසා මං කලාවට යොමු වෙන්න හිතුවා. ඔහු නැවතුණු තැනින් මං පටන් ගන්නවා. අනෙක, මගේ තාත්තා එයාගේ අන්තිම කැමැති පත්‍රයෙන් බුද්ධිමය දේපළ පවරා තියෙන්නේ මට නිසා තාත්තා වෙනුවෙන් කලා ලෝකේ කරන්න වැඩ කොටසක් මට තියෙනවා.
ෆ්‍රෙඩී කලාවට හාස්‍ය, උපහාසය ගෙනා දැවැන්තයෙක් නේද?
අනිවාර්යෙන්ම. ඔහුට සාධාරණයක් කරන්න මට බැරි වේවි. තාත්තා ගැන මට හරිම ආඩම්බරයි. ඒ වගේම, මමත් ඔහු වෙනුවෙන් උපරිමයෙන් දෙයක් කරන්න උත්සාහ දරනවා.