Home » නඩු දමා දරුවන්ගේ කාලය කා දැමීම අපරාධයක්

නඩු දමා දරුවන්ගේ කාලය කා දැමීම අපරාධයක්

by mahesh
August 25, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

පළාත් සභාවලට ගුරුවරුන් බඳවාගන්නා ලෙස කැබිනට් පත්‍රිකාවක් මේ වන විට නිකුත් කර තිබියදීත් බඳවාගැනීම් කරගැනීමට නොහැකි වීම කනගාටුදායක බව සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසුවාය. ඇය මේ බව පැවසුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

වසර දෙකක් නිවෙස්වල සිට පැමිණි දරුවන්ට අකුරු ලිවීමට කියවීමට නොහැකි යැයිද, විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ වැටුප් කැපීමට පෙර අමාත්‍යාංශයේ ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන් ඇතුළු නිලධාරීන්ගේ වැටුප් කපා හරින්නේ කවදාද කියා ප්‍රශ්න කරන්නේ යැයිද ඇය මෙහිදී විමසුවාය.

පාසල්වල ගුරු පුරප්පාඩු තිබියදී දරුවන්ගෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉහළ ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි දෙයක් බවද මන්ත්‍රීවරිය කීවාය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අඩු නම් විදුහල්පතිවරයාට වැටුප් වැඩි නොකරන බව සඳහන් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා චක්‍රලේඛයක් නිකුත් කිරීම අනීතික බවත්, එය වහාම අත්හිටුවීමට අධ්‍යාපන ඇමැතිවරයා පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරිය කියා සිටියාය.

මධ්‍යම පළාත තුළ ගුරු පුරප්පාඩු 5,878ක් පවතින බව ප්‍රකාශ කළ ඇය රාජ්‍ය සේවකයකුට වැටුප් වර්ධක පිරිනමනුයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජ්‍ය සේවා නිලධාරීන්ගේ කාර්යසාධන ඇගයීම් සිරස්තලය යටතේ 7-98 චක්‍රලේඛය අනුව වන අතර, කාර්යසාධන ඇගයීම සිදු කරනුයේ ආයතන සංග්‍රහයේ 7 වැනි පරිච්ඡේදය අනුව යැයිද පැවසුවාය. දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට තිබෙන රාජකාරිවලින් එකක් පමණක් බවත්, ඊට අමතරව තවත් රාජකාරි 45ක් පමණ තිබෙන බවත් මන්ත්‍රීවරිය සිහිපත් කළාය. ගුරුවරුන්ටත්, විදුහල්පතිවරුන්ටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ඇමැතිවරයාටත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉලක්ක තිබුණොත් හොඳ ගමනක් යා හැකි බවද මන්ත්‍රීවරිය මෙහිදී පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT