Home » ජාතික ක්‍රීඩා තරගාවලිය හෙට සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී
වසර හතළිස්හයකදීම භාවිතා කළ ‘උලෙළ’ හැලෙයි

ජාතික ක්‍රීඩා තරගාවලිය හෙට සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී

ඉසව් 30කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5806ක් තරග බිමේ

by mahesh
August 23, 2023 1:02 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

හතළිස් හත්වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ අවසන් ක්‍රීඩා තරග හෙට (24) සිට 26 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ඇත.

ඉතිහාසයේ අවස්ථා හතළිස් හයකදීම ජාතික මහා ක්‍රීඩා උලෙළ ලෙසින් හැඳින්වූවද මෙවර ක්‍රීඩා තරගාවලිය ලෙසින් නාමය වෙනස් කොට පැවැත්වීම විශේෂත්වයකි. මෙම ක්‍රීඩා තරගාවලිය සඳහා වැය වන ප්‍රතිපාදන අවම කොට තිබීම විශේෂත්වයකි.

තරගාවලියේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ක්‍රීඩා ගිනි සිළුව දැල්වීමේ අවස්ථාව ජාතික හා ජාත්‍යන්තර තරගවලදී මල්ලවපොර සහ ජූඩෝ ක්‍රීඩාවල දස්කම් දක්වා ඇති බස්නාහිර පළාතේ ඊ.එම්.එල්. ප්‍රියංකර සහ ජාතික ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 සහ මීටර් 200 කෙටි දුර ධාවන ඉසව්වෙන් ජයග්‍රහණ අත්පත්කරගත් ශිවන්ති ජයතිලක යන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ලබාදී තිබේ.

සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරමින්, රිටි පැනීමේ ජාතික වාර්තාවට හිමිකම් කියූ ලක්රාණි පෙරේරා ක්‍රීඩිකාව විසින් ක්‍රීඩක ප්‍රතිඥාව ලබාදීමට නියමිතය.

මෙවර ජාතික ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 262ක්, රිදී පදක්කම් 262ක් සහ ලෝකඩ පදක්කම් 360ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ක්‍රීඩා ඉසව් 30ක් යටතේ තරග පැවැත්වෙන අතර, ක්‍රීඩකයින් 3215ක් සහ ක්‍රීඩිකාවන් 2591ක් වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5806ක් පළාත් නවය නියෝජනය කරමින් ජාතික ක්‍රීඩා තරගාවලියට සහභාගී වේ.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ආරාධනාව පරිදි තරගාවලියේ සමාරම්භක අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වන අතර, සමාප්තිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 26 වැනිදා පස්වරු 3 පැවැත්වීමට නියමිත ය. අලුතින් පත්වීම් ලද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, රියර් අද්මිරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා මෙහි සංචිධාන කටයුතු අධීක්ෂණය කරමින් සිටී.

හෙට සිට 26 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මලල ක්‍රීඩා තරග පැවැත්වෙන අතර, පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 409ක් සහ ක්‍රීඩිකාවන් 351ක් තරග බිමටි පිවිසේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT