විනය විරෝධී හැසිරීම් හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වසන්ත යාපා බණ්ඩාර සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් අද (23) ඉවත්කළේය.
ඒ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කල්තැබූ පාර්ලිමේන්තුව විනාඩි 20 කට පමණ පසු කථානායකවරයාගෙන් ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
නියෝජ්‍ය කථානායකවරයාට තර්ජනය කළ එම මන්ත්‍රීවරු දෙදෙනා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම, කථානායකවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ වගකීම් සහගතව පාර්ලිමේන්තුවේ හැසිරෙන ලෙස ය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බාධාකිරීම් හේතුවෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 10.30 ට පමණ පාර්ලිමේන්තුව කල්තැබීමට පියවර ගත්තේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න ඇසීමේදී ප්‍රශ්නයට අමතරව දීර්ඝ කතා පවත්වමින් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන බවට නියෝජ්‍ය කතානායකවරයාගෙන් සහ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද අවස්ථා රැසකදී චෝදනා එල්ලවිය.
ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කළේ, විපක්ෂයේ මන්ත්‍රීවරු මාධ්‍ය සංදර්ශන පවත්වන බවයි.
ඒ අනුව, නියෝජ්‍ය කථානායකවරයා අවස්ථා ගණනාවකදී ප්‍රශ්නය කෙටියෙන් අසන ලෙස දැනුම්දුන්නේය.
එය සැලකිල්ලට නොගත් චමින්ද විජේසිරි, වසන්ත යාපා බණ්ඩාර සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරු අඛණ්ඩව සභාවට බාධා කළේය.
එමෙන්ම, වසන්ත යාපා බණ්ඩාර සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරුන් කථානායක අසුන අසළට පැමිණ නියෝජ්‍ය කතානායකවරයාට බාධා කර තිබේ.
එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු පාලනය කරගන්නා ලෙස නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂ නායකවරයාට ද දන්වා සිටියේ මෙවැනි මන්ත්‍රීවරු කැලෑවල සිටින බව ද පවසමින්ය.
එහෙත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අඛණ්ඩ බාධාකිරීම් හමුවේ පවත්වාගෙන යා නොහැකිවූ පාර්ලිමේන්තුව කල්තැබුණේ ඉන් අනතුරුවය.