Sunday, April 20, 2025
Home » ඇල්ටෝ ධර්මෙගේ ගේමක්
රත්මලාන කුකුළු මස් කඩ හිමියා ඝාතනය

ඇල්ටෝ ධර්මෙගේ ගේමක්

ඇළට දැමූ යතුරුපැදිය හමුවෙයි

by mahesh
August 23, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට ඇති කුකුළු මස් අලෙවි ස්ථානයක් තුළදී එහි හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීම ඩුබායිහි රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු වන ඇල්ටෝ ධර්මේ නමැත්තා විසින් මෙහෙයවා ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පෙරේදා (21) රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම කර තිබිණි. මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම කර ඇත.

රත්මලාන, එස්. වීරසේන සිල්වා මාවතේ පදිංචිකරුවකු වූ එස්.ඒ. දේශප්‍රිය (40) නමැති අය මෙහිදී ඝාතනය කර තිබිණි.

මෙම ව්‍යාපාරිකයාව ඝාතනය කර වෙඩික්කරුවන් පලා ගොස් ඇත්තේ අඟුරුවාතොට ප්‍රදේශයට බව විමර්ශනයේදී හෙළි වී තිබේ. යතුරුපැදිය ඇළකට දමා වෙඩික්කරු සහ පැදිකරු පලා ගොස් ඇති බව පොලිසිය කියයි. ඇළට දැමූ එම යතුරුපැදිය ඊයේ (22) පොලිසියට හමු වී තිබිණි.

මෙම වෙඩි තැබීමට මුල්වී ඇත්තේ පෙර දිනක මෙම ව්‍යාපාරිකයා විසින් ඇල්ටෝ ධර්මේගේ මත්කුඩු ජාලයට සම්බන්ධ පුද්ගලයකුට දොස් නැඟීමක් බවට තොරතුරක් ලැබී ඇති බව උසස් නිලධාරියෙක් සඳහන් කළේය. එම පුද්ගලයා ඇල්ටෝ ධර්මෙගේ මත්කුඩු ජාලයේ සිටින පුද්ගලයකු බවට ද එම තොරතුරුවල සඳහන් බව එම නිලධාරියා කීය.

ඝාතනය වූ පුද්ගලයා අපරාධවලට සම්බන්ධ අයකු බව හෝ අපරාධවලට ආධාර හා අනුබල දෙන්නකු බවට මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වන්නේ නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, පොලිස් බුද්ධි අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය ආදි පොලිස් කණ්ඩායම් විමර්ශන පවත්වන බව ද නිහාල් තල්දූව මහතා කීය.

මෙම වෙඩි තැබීමට මුල්වී ඇති හේතුන් ගැන බොහෝ තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බවත් ඒ ගැන තවදුරටත් කරුණු සොයා බලමින් සිටින බවත් ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා කීය. මෙම ඝාතනයට සම්බන්ධ සහ ඊට ආධාර හා අනුබල දුන් පුද්ගලයන්ව වැඩිකල් නොගොස් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි ද මංගල දෙහිදෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT