– රැඳවූවන් මිය ගියේ-රෝගී වුණේ බැක්ටීරියාවෙන්
– අමුත්තන් හමුවීම අත්හිටුවයි
– රෝගී රැඳවූවන් ගණන 16ට නඟී
– සියලු රැඳවූවන්ට ප්‍රතිජීවක ඖෂධ
මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර යෑම හේතුවෙන් බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරයට නව රැඳවූවන් ඇතුළත් කිරීම, රැඳවූවන් අධිකරණ කටයුතු සඳහා රැගෙන යෑම මෙන්ම රැඳවූවන්ට අමුත්තන් හමුවීම සති දෙකකට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි රැඳවූවන් මරණයට සහ අසනීප තත්ත්වයට පත් වන්නට ඇත්තේ මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර යෑම හේතුවෙන් බව කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු වශයෙන් සිට නිදහස් වී ගිය පුද්ගලයකු ඊට සතියකට පමණ පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මෙම බැක්ටීරියාව බන්ධනාගාරය තුළට ගොස් ඇත්තේ ඔහුගෙන් ද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ සැක පහළ කර ඇත. මෙම පුද්ගලයාගේ නිවැසියන් සහ ඔහු ආශ්‍රය කළ පුද්ගලයන් සමඟ සෞඛ්‍ය අංශ මේ වන විට පරීක්ෂණ පවත්වයි.
එම රෝගය වැලඳුණු රැඳවූවන් සංඛ්‍යාව ඊයේ (22) වන විට 16 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 09 දෙනකු කරාපිටිය රෝහලේත් 07 දෙනෙක් ගාල්ල බන්ධනාගාර රෝහලේත් ප්‍රතිකාර ලබයි. එමෙන්ම මේ රෝගය හේතුවෙන් තවත් රැඳවූවන් දෙදෙනෙක් පසුගිය දින 2ක් තුළ මිය ගියහ.
සිද්ධියෙන් මියගිය රැඳවූවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පෙරේදා (21) සිදු කෙරුණු අතර එහිදී වෛද්‍යවරුන් විසින් විවෘත තීන්දුවක් දී තිබිණි. ඒ අනුව ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.
මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව මාරාන්තික බැක්ටීරියාවක් වන අතර මත්ද්‍රව්‍ය භාවිතයට ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ පුද්ගලයන්ට මෙය දැඩිව බලපාන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මේ අතර ගාල්ල බන්ධනාගාරය තුළ මේ දිනවල පැතිර යන උණ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා රැඳවූවන්ට ප්‍රතිජීවක ඖෂධ දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් එම බන්ධනාගාරයට පැමිණ රැඳවූවන් පරීක්ෂා කර එම බන්ධනාගාරයේ රැඳවූවන් 1,080 දෙනාට සහ නිලධාරින්ට එලෙස අදාළ ඖෂධ දුන් බව සඳහන්ය. එමෙන්ම ඔවුන්ට මුව ආවරණ නිසි ලෙස පලඳින ලෙස ද එම වෛද්‍යවරුන් උපදෙස් දී තිබේ.
වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ මේ වන විට මෙම රෝගී තත්ත්වය මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාවෙන් ඇති වූ ආසාදනයක් බවට යම්තාක් දුරකට සොයාගෙන තිබෙන බවත් තවදුරටත් එයට අදාළව මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතින බවත්ය.