Sunday, April 20, 2025
Home » මොහොතක් හෝ ජීවත්වෙන්න ගන්නා බෙහෙත්වලින් මරණ සිදුවෙනවා නම් එය ශෝචනීයයි

මොහොතක් හෝ ජීවත්වෙන්න ගන්නා බෙහෙත්වලින් මරණ සිදුවෙනවා නම් එය ශෝචනීයයි

හල්වතුර සුධර්මාරාම විහාරාධිපති

by mahesh
August 23, 2023 1:00 am 0 comment

හල්තොට සමූහ විනිතා මානෙල් ගමගේ

මේ මරණය මිනිස් ඝාතනයක් විදියටයි මම දකින්නේ. මොකද එක මොහාතක් හරි ජීවත් වෙන්න තමයි කවුරුත් උත්සාහ කරන්නෙ. මෙතුමියටත් නියම කළ ඖෂධ ගන්න ඖෂධහලට ගියේ ඒ බලාපොරොත්තුවෙන් මිසක් මෙහෙම දෙයක් වෙයි කියළ හිතල නෙමෙයි.යැයි හල්වතුර සුධර්මාරාම විහාරාධිපති මුළු දිවයිනටම සාම විනිසුරු බුලත්සිංහල ප්‍රාදේශීය සභා මංත්‍රී කොස්ගම සිරිධම්ම හිමියෝ ප්‍රකාශ කළේ ඔසුහලකින් ලබාදුන් වැරදි ඖෂධයක් ගැනිමෙන් මිය ගිය ඉංගිරිය, උඩහ ඌරගල පදිංචි පී.එම්. සෝමාවතී තිදරු මවගේ අවමංගල උත්සවයේ අනුශාසනා කතාව පවත්වමිනි.

දියවැඩියාව, හෘදරෝග හා වකුගඩු රෝගි තත්වයෙන් පෙලෙමින් සිටි සෝමවති (62) මහත්මියට ඉංගිරිය නගරයේ ඔසුසලකින් ලබාදි තිබූ පිළිකා රෝගය සඳහා ලබාදෙන ඖෂධයක් පානය කිරීමෙන් රෝගි තත්වයට පත්ව රෝහල් ගත කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 20 දා සියල්ලන්ගෙන්ම සමුගෙන යාමට සිදු වුයේ නොසැලකිලිමත්කමින් සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙනි.

මෙහිදී තවදුරටත් අනුශාසනා කතාව සිදු කළ කොස්ගම සිරිධම්ම හිමියෝ මෙසේද පැවසුහ.

… මෙතුමිය සඟ පරපුරකින් පැවත එන උතුම් ගතිගුණවලින් පිරිපුන් කෙනෙක්. මගේ ඥාති සහෝදරියක්. ඕනෑම කෙනකුට උදව් කරන චරිතයක්. ඒ වගේම තමයි මගේ අසනිපයකට බෙහෙත් වගයක් අවශ්‍ය වෙලා දුරකතනයෙන් දැනුම් දුන් අවස්ථාවේ අයගමට ඇවිත් ඒවා හොයාගෙන මට ලබා දුන්නා. තවත් කෙනකුගේ ජිවිතය රැක ගන්න ඖෂධ හොයන්න කටයුතු කළේ ඒ ආකාරයටයි. එතුමියටයි ඖෂධහලකින් ජීවිතය අහිමි කරන්න මේ විදියට ඖෂධ නිකුත් කරල තියෙන්නෙ. ඔහු බිමත්ව සිට තමයි මේ ඖෂධ නිකුත් කරල තියෙන්නෙ.

කාලයක් අපි කොරෝනාවලට බෙහෙත් ගත්තා. ඒවා විස වෙයි කියලත් හිතුවා. නමුත් ඒක එහෙම වුණේ නැ. ඒ වුණාට අද මල් වගේ දරුවන්ගෙ මරණ පවා අපට මාධ්‍යයෙන් දැක ගන්න ලැබෙනවා ඖෂධ වැරදීම්වලින් සිදු වුණ. ඔබ ඖෂධහලකින් බෙහෙතක් ගන්නවා නම් පාවිච්චි කිරීමට පෙර වෛද්‍යවරයකුට පෙන්වීමට කටයුතු කරන්න. මොකද අපේ වටිනා ජිවිතය රැක ගන්න අපි කටයුතු කරන්න ඕනැ. මෙතුමියගේ වටිනා ජිවිතය අහිමි විම පාඩුවක්. වේදනාව දරුවන්ට පමණක් නෙමෙයි. මටත් තියෙනවා වේදනාවක්. අපිට හිතවත් අපේ කෙනෙක් අපිට අහිමි වෙලා. මේ සිදුවීම ආදර්ශයට අරගෙන ජිවත් වෙන ඔබෙන් ඉල්ලනවා එක ඉල්ලීමක්. නියම ඖෂධවේදින් ඉන්න ඖෂධහලකින් බෙහෙත් ලබා ගන්න කටයුතු කරන්න. මේ සිදු විම සම්බන්ධයෙන් අපි ඉදිරියට ගත යුතු ක්‍රියා මාර්ග ගන්නවා. නීතිමය වශයෙන් ඒවා යටපත් කරයි. නමුත් අපිට මේ වරද පෙන්නල දෙන්න පුළුවන් වෙන්න ඕනැ. අපේ අයිතිවාසිකම් රැක ගන්න එකතු වෙන්න කියල ඉල්ලනවා…

මෙහිදී ආරුපෝරුවේ සුමනාරාමාධිපති කළුතර පළාත් සංඝ සභාවේ ලේඛකාධිකාරි මහගම විමලඥාණ හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ ගිහි කිපදෙනකුද අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වූහ.

මොහාන් චානක, දිල්හාන් දර්ශන හා යුරේකා සදමාලි දරුවන් තිදෙනාට දයාබර මැණියන් මෙන්ම ඩබ්. ලිලාරත්න මහතාට සෙනෙහෙබර බිරිදක් වශයෙන් කටයුතු කළ සෝමාවති මහත්මිය අසල්වැසි කාටත් උදව් උපකාර කරමින් ගමේ විහාරස්ථානය මුල් තැනෙහිලා කටයුතු කළ උපාසිකාවක් බව කිසිවෙකුටත් රහසක් නොවේ.

.. අනේ මං රට ගිහිල්ල සල්ලි ටිකක් හොයාගෙන කොහොම හරි මේ දරුවගෙ ඇස් දෙක පාදනවා.. යැයි සෝමාවති මහත්මිය මහමෙරක් තරමට බලාපොරොත්තු තබා ගෙන සිටියේ තවමත් 24 හැවිරිදි වියේ පසුවෙන යුරේකා දියණියගේ දැසට පෙනීම ලබා දීම සඳහාය.

අසල්වැසි ඥාතිවරියක වන ආයුර්වේද වෛද්‍ය වසන්ති මල්ලිකා මහත්මිය පැවසුවේ මෙවැන්නකි.

.. අක්කට සීනි, වකුගඩු අමාරුව, පෙෂර් තිබුණා. ෆාමසියෙන් ගෙනාව බෙහෙත් සතියක් විතර බොන කොට තමයි අමාරුව හැදුණෙ. බඩඑලිය ගිහිල්ල වමනෙ ගිහිල්ල කන්නෙ නැතුව ඉන්න කොට රෝහලට ගෙනිච්චා. කවුද දන්නෙ බෙහෙත් වැරදියි කියල. රෝහලේ පෙෂර් පෙති නැතිලු. ඒ නිසා නර්ස් අහල මෙයා ළඟ තියෙනවද කියල. එතකොට තමයි තියෙන බෙහෙත් පෙන්නල තියෙන්නෙ. ඒවා පිළිකාවලට දෙන බෙහෙතක් කියල දැන ගත්තෙ එතකොටයි. පෙෂර්වලට බොන විදියට උදේ හවස සතියක්ම බීල ඒ බෙහෙත.

යුරේක දුව ඉගෙන ගන්නවා. උසස් පෙළ ඉවරවෙන කාලෙ ඉඳල තමයි එයාගෙ ඇස් පෙනීම දුර්වල වුණේ. දිගටම බෙහෙත් කළා. දැන් ස්නායු මැරිල කියල ඇස් බද්ධ කළත් හදන්න බැ කියල තියෙනවා. අක්ක නැති වුණ නිසා දැන් මේ දුවට කවුරුවත් නෑ. තාත්ත එක්ක තනි වෙලා. පවුලෙ ඉන්නෙ පිරිමි විතරක් හින්ද එයාගෙ ප්‍රශ්ණ කියන්න කවුරුවත් නැ. අක්කට ඕන වුණේ කොහොම හරි දුවට පෙනීම ලබා දෙන්න. මේ අය වෙච්ච වරදට වන්දියක් ගෙවල හරි මේ දරුවගෙ ඇස් දෙක සනීප කරගන්න පිහිට වෙනව නම් ඒක ලොකු දෙයක්. මේ අයට වුණු අසාධාරණයට සාධාරණයක් කරන්න තියෙන අවස්ථාව තමයි මේ. ඒක මඟ අරිනව නම් රෝගි පරම්පරාවටම කරන අසාධාරණයක්. අපි ඉල්ලන්නෙ මේ දුවගෙ ඇස් දෙක පාදන්න පුළුවන් වෛද්‍යවරයෙක් හරි ඉදිරිපත් වෙලා උදව් කරන්න කියලයි. ඒක මේ ආත්මෙම කරගන්න පුළුවන් ලොකුම ලොකු පිනක් වෙනවා.

පියා සමඟ තනිවූ දියණියට මවගේ මුහුණ අවසන් වතාවටවත් දැක ගැනීමට ඉඩ නොලැබී ගියේ ඇගේ දැසම මේ වන විට සම්පුර්ණයෙන්ම නොපෙනන තත්වයට පත්ව තිබෙන නිසාය. ඔවුන් පවසන පරිදි ඇයට යලිත් මේ සුන්දර වටපිටාව නැරඹීමට ආලෝකය ලබාදිය හැකි කෙනෙක් ඉදිරිපත් වන්නේ නම් එය මෙලොව පමණක් නොව එලොවටත් සිදු කර ගන්නා විශාල පුණ්‍ය කර්මයක් වනු නියතය.

රෝගියකුට ඖෂධ ගැන දැනීමක් නොමැති සේම වෛද්‍යවරයකු හෝ ඔසුහලකින් ලබාදෙන ඖෂධ පාවිච්චි කරන්නේ ඒ පිළිබඳ පුර්ණ විශ්වාසයෙන් තවත් එක මොහාතක් හෝ මෙලොව ජිවත්වීමේ අයිතිය තහවුරු කර ගැනීමට මිස එලොවට පාර කපා ගැනීමට නොවන බව වටහා ගැනීම කාගේත් වගකීම හා යුතුකම නොවන්නේද? එය පැහැර හැරීමෙන් සිදු වූ මෙම විනාශය යලි නිවැරදි කළ හැක්කේ කාටදැයි සිතා ගැනීම අසීරුය. තවත් වසර ගණනාවක් ඒ පවුලේ පිරිස සමඟ සතුටින් සිටීමට තිබූ ඉඩ කඩ අහුරමින් සිදු කළ මෙම නොසැලකිලිමත් ක්‍රියාවෙන් මුළු ගමක් පමණක් නොව රටටම කතා කිරීමට මාතෘකාවක් ඉතිරි කර සෝමාවති මාතාව මිහිදන් වුයේ මිනිසුන් මැද සිටින නොමිනිසුන් පිළිබඳ ද සටහනක් එකතු කරමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT