හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙස අවිවාදිතව පිළිගැනෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වීදි සංචාරය කිරීම පෙරේදා (21) රාත්‍රියේ ආරම්භ විය.
ඒ අනුව ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කරද්දී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරහර ගමන් කළ වීදිවලට රැස්ව සිටි අතර, සාධතුක කරඬුව වැඩම කරන විට ඔවුන් නැඟී සිට සාධුකාර දුන්නේ දළදා හාමුදුරුවන්ගේ පිහිටාරක්ෂාව රටට ලැබේවායි යන ප්‍රාර්ථනයද සමඟිනි.
පළමු කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ දිවංගත ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා විසින් දළදා මාලිගාවට පූජා කරන ලද ඉන්දි රාජා හස්තියා මතිනි. අඩසියවසක් සධාතුක කරඬුව වැඩම කළ රාජා හස්තියා මෙලොව හැර යෑමෙන් පසු දළදා මාලිගාවේ ඇත් පන්තියට එක් වූ ඉන්දි රාජා මේ වන විට ඇත් පන්තියේ නායකත්වය දරමින් පෙරහරේ වැඩිම දින ගණනක් කරඬුව වැඩම කරන්නා වූ හස්තියා බවට පත් වූයේ ඒ උතුම් කාර්යය මහත් වූ ගෞරවයෙන් ඉටු කිරීම නිසාමය.
මහනුවර ඇසළ මංගල්‍යයේ කුඹල් පෙරහරේදී උඩරට වෙස් නැටුම් දැකිය හැක්කේ දළදා මාලිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන්නා වූ හස්ති රාජයාට හා දියවඩන නිලමේට ඉදිරියෙන් පමණි. දේවාල පෙරහර සඳහා වෙස් නැටුම් එක් වන්නේ රන්දෝලි පෙරහරේදීය. ප්‍රථම කුඹල් පෙරහරේ ගමන් කිරීමෙන් පසු දියවඩන නිලමේ පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල බස්නායක නිලමේවරුන්ට දළදා මාලිගා පෙරහරේ ගමන් කිරීමට අවස්ථාව සැලසීම සම්ප්‍රදායයි.
මහනුවර ඇසළ පෙරහර ගමන් ගන්නා මාර්ගය දිනෙන් දින වැඩි කෙරෙන අතර, ඊට සමගාමිව පෙරහරේ විචිත්‍රත්වයද ඉහළ යයි. අවසන් රන්දෝලි පෙරහරේදී සාධාතුක කරඬුව වැඩම කරවන මංගල හස්ති රාජායා උඩුවියන් සහිතව පාවඩ මතින් ගමන් කිරීම විශේෂත්වයකි. මේ මහනුවර ප්‍රථම කුඹල් පෙරහරේ සුවිශේෂ අවස්ථා කිහිපයකි.