Home » අයි නාලිකාව කුලී පදනම මත ලබා නොදුන්නා නම් අද වන විට රූපවාහිනී සංස්ථාවක් නෑ

අයි නාලිකාව කුලී පදනම මත ලබා නොදුන්නා නම් අද වන විට රූපවාහිනී සංස්ථාවක් නෑ

by mahesh
August 23, 2023 1:00 am 0 comment

අයි නාලිකාව කුලී පදනම මත ලබා නොදුන්නා නම් අද වන විට රූපවාහිනී සංස්ථාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) අවධාරණය කළේය.

රුපියල් ලක්ෂ 520ක විදුලි බිල නොගෙවීම නිසා රූපවාහිනියේ විදුලිය විසන්ධි කිරීම අනිවාර්යෙන් සිදු වීමට තිබුණා. ඒ වගේම සේවකයන්ගේ සෞඛ්‍ය රක්ෂණ වාරික නොගෙවීම නිසාත් ඔවුනට රක්ෂණාවරණය යටතේ බේත්හේත් ගැනීමට නොහැක වන අතර, දුරකතන බිල්පත් නොගෙවීම නිසා දුරකතන විසන්ධි වීමට නියමිතව තිබුණා.

එමෙන්ම අර්ථ සාධක හා භාරකාර අරමුදල් නොගෙවීම නිසා නඩු වැටෙන්නට තිබූ අතර, මේ දැඩි මූල්‍ය අර්බුදයෙන් මිදීමට තිබූ එකම මඟ අයි නාලිකාවේ ගුවන් කාලය කුලියට දී අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 75 ක් ලබා ගැනීම බවද ඇමැතිවරයා තවදුරටත් අවධාරණය කළේය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මීට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මුළු ලංකාවෙන්ම අයි නාලිකාවේ ගුවන් කාලය බදු දීම සඳහා පුවත්පත්වල දැන්වීම් පළ කර තිබුණා. මේ වෙනුවෙන් ඉල්ලුම්පත් දෙකක් ලැබුණා. ඒ අය අතරින් වැඩිම මිල ලෙස ඉදිරිපත් වුණේ මිලියන 15 ක් පමණයි. කවුරුත් ඉදිරිපත් නොවන අවස්ථාවක තමයි වී අයි බ්‍රෝඩ්කාස්ටින් සමාගම ඉදිරිපත් වෙලා මසකට මිලියන 25 ක් බැගින් දෙන්න පොරොන්දු වුණේ. එයින් මාස තුනක් සඳහා රුපියල් මිලිය 75 ක් අත්තිකාරම් වශයෙන් ලබා ගෙන තිබෙනවා. ඒ මිලියන 75 ම මේ වන විට වියදම් කර අවසන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික රූපවාහිනී සංස්ථාව 2018 වසරේ සිට රුපියල් මිලියන 1660 ක අලාභයක් ලබා ඇති බවයි. චැනල් අයි නාලිකාවේ ගුවන් කාලය කුලියට ලබාදීමට තීරණය කළේ එම ආයතනය පවත්වාගෙන යාම වෙනුවෙන් බව අවධාරණය කළ අමාත්‍යවරයා අයි නාලිකාවේ ගුවන් කාලය පැවරීමේදී දූෂණයක් වංචාවක් සිදුවී ඇතැයි ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවද පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

රූපවාහිනී සංස්ථාව සම්බන්ධ‍‍යෙන් රටට හා ජනතාවට පැහැදිලි කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. රූපවාහිනී සංස්ථාව 2018 ඉඳලා අලාභයි. 2018 වසරේදී මිලියන 579ක් , 2019දී මිලියන 150ක්, 2020දී මිලියන 574 ක්, 2021දී මිලියන 362ක් .2022 මුල් කාලයේදී ඒ අලාභය අඩු කරගෙන තිබෙනවා මිලියන 25ට. මුළු කාලය තුළදී 1660 ක් රූපවාහිනිය අලාබයි.රූපවාහිනිය පවත්වාගෙන යාම වෙනුවෙන් වසරකට මධ්‍යම ආණ්ඩුවෙන් වසරක් ගානේ මුදල් ලබා දී තිබෙනවා. 2014 දී මිලියන 182ක්, 2015දී මිලියන 374ක් ද, 2016දී 284ක් ලබා දී තිබෙනවා. 2017දී මිලියන 188 ක්. 2018දී ත් ලබාදී තිබෙනවා. 2019දී මිලියන 467 ක් ලබාදී තිබෙනවා. 2020දී මිලියන 263ක් ලබාදී තිබෙනවා. 2022දී මිලියන 549 ක් ලබාදී තිබෙනවා. මේ වසරේදි මිලියන 251ක් වශයෙන් ලබාදී තිබෙනවා. මේ ආයතනයට අන්තිම වෙනකොට විදුලි බිල ගෙවන්න බැහැ. ජාතික රූපවාහිනිය වුණත් විදුලිය කපන එක නතර කරගන්න විදිහක් නෑ. මේ මුදල ලැබුණාම මම මුලින්ම කළේ විදුලි බිල ගෙවන එක. මිලියන 75 ම පාවිච්චි කළේ සංස්ථාවට. ඒක නොකළ නම් මේක නතර වෙනවා. වංචාවක් දූෂණයක් තියෙනවා නම් උසාවි යන්න පුළුවන්.එහෙම දෙයක් වුණා කියල ඔප්පු කළොත් මම ඉල්ලා අස්වෙනවා.

පසුගිය දිනවල මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ හා විශාල මඩ ප්‍රචාරයක් ගෙන ගිය මෙම සිදුවීම ගැන කරුණු දැක්වීමට අවස්ථාව සලසා දීම ගැන අනුර කුමාර දිසානායකට ස්තූතිවන්ත වෙනවා. රූපවාහිනි සංස්ථාව සතු චැනල් අයි නාලිකාවට අයත් ගුවන් කාලය මාස හයක් සඳහා පුද්ගලික සමාගමකට බදු දී නැහැ. රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව පුද්ගලික සමාගමකට විකිණීමක් හෝ බදු දීමක් සිදු කර නැහැ. ගුවන් කාලය මාස හයකට කුලී පදනම මත මසකට මිලියන 150ක් හා ධන බදු මුදලකට වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින් සමාගමට පවරා තියෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ වගන්ති අනුව අදාළ පැවරිම් සිදුකිරීමට‌ අධ්‍යක්ෂ මණ්ඩලයට බලය පවරා ඇත. පනතේ ඊ වගන්තිය මම සභාගත කරනවා.

ඌ වගන්තිය අනුව මුදල් අමාත්‍යවරයාගේ හා දෙනු ලැබූ අමාත්‍යවරයාගේ පූර්ණ අනුමැතිය මත යම් ව්‍යාපාරයක් හා එක්ව හෝ වෙනත් ව්‍යාපාරයක් සමඟ එක්ව ප්‍රචාරය කිරීම සඳහා වැඩසටහන් සැපයීමේ ව්‍යාපාරය පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යන්නට අදහස් කරන්නා වූ ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත සංස්ථාගත කරන ලද යම් සමාගමක කොටස් හෝ ස්කන්ධ සම්බන්ධයෙන් සහභාගී වීම, ඒ්වා අත්පත්කර ගැනීම, නීයාදනය කිරීම ආදිය සම්බන්ධයෙන් අන්‍ය ආකාරයෙන් කටයුතු කිරීම කියන රූපවාහිනී සංස්ථා පනත මඟින් ඉතා පැහැදිලි ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට එවැනි බලයක් පවරා තිබෙනවා. ඒ වගේම ඉහත කී පරිදි කුලී පදනම යටතේ වී. අයි. ඒ. බ්‍රොඩ්කාස්ටින් සමාගමට ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා. එම අනුමැතිය ලබා දුන්නේ විෂය භාර අමාත්‍යවරයා ලෙස මට ඇති නීත්‍යනුකූල බලය නිසයි. ඒ වගේම මේ වෙනුවෙන් බදු ගිවිසුමක් අත්සන් කර නැහැ.

ඒ් වගේම අදාළ අමාත්‍යවරයා ‌ලෙස මම කිසිඳු අනීතික පැවරීමක් සඳහා උපදෙස් දී නැහැ. මේකට අනුමැතිය දුන්නේ මට නීත්‍යනුකූල බලයක් ඇති නිසයි. ඒ වගේම ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ විෂය භාර ඇමැතිවරයා ලෙස මට නීත්‍යනුකූල බලයක් පනත සම්මත කරන අවස්ථාවේදී මෙම උත්තරීතර සභාව විසින් මා වෙත පවරා දී ඇති නිසයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා වී. අයි. එස්. බ්‍රෝඩ්කාස්ටින් සමාගම අතර චැනල් අයි ගුවන් කාලය කුලී පදනම මත මාස හයක කාල සීමාවක් සඳහා එම සමාගමට ලබාදීමට 2023-07-29 දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අවස්ථාවේදී රුපියල් මිලියන 75 ක අත්තිකාරම් මුදලක් අත්තිකාරම් ලෙස ලබාගෙන තිබෙනවා.

වී. අයි. එස්. බ්‍රෝඩ්කාස්ටින් සමාගම අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම සභාගත කරනවා. අවබෝධතා ගිවිසුම දැන් ඔබතුමාලට පරීක්ෂා කරන්න පුළුවන්. ලබාගත් මිලියන 75 ක මුදලට සිදුකළ දේවල් පිළිබඳවත් පැහැදිලි කරනවා. අපි මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම ජනාධිපතිතුමා කිව්වා මේක කැබිනට් එකට ගෙන්න ඕන එකක් නෙවෙයි කියලා. ව්‍යාපාරයක් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට අයිතියක් තියෙනවා කියලා කිව්වා.පඩු කරඳ ගහ ඉවත් කිරීම සම්බන්ධයෙන් මම කැබිනට් පත්‍රිකාව අරන් ගියාමත් ජනාධිපතිවරයා මේක කිව්වා. වඩා හොඳින් මෙම ක්‍රියාව කිරිම වෙනුවෙන් තමයි මම ඒ ආකාරයට කටයුතු ක‍ළේ.

අභිලාෂ කැඳවන අවස්ථාවේදී අපට ඕන එක දාන්නෙ නැහැ. අනුර දිසානායක මහතාත් කැබිනට් ඇමතිවරයෙක් ලෙස ඉඳ තිබෙනවා. කැබිනට් පේපර් එක ලියන්නේ ඇමැති නෙවෙයි, ලේකම් . ලේකම්ට කුලියයි බදු මුදලයි අතර අවබෝධයක් නැතිව හෝ තැකීමකින් නෙවෙයිි මේ කැබිනට් පත්‍රිකාව සකස් තර තිබෙන්නේ. දැන් මේ අවස්ථාවට පෙර කථානායක තුමනි, ජාතික රූපවාහිනී සංස්ථාව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක තිබුණේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT