පාසල් පද්ධතියේ 45000ක ගුරු හිඟයක් තිබියදී විද්‍යා පීඨවලට වසර පහකින් ගුරු සිසුන් බඳවාගෙන නැති බවත් මේ නිසා ඉදිරියේදී ගුරු හිඟය තවත් බරපතළ වනු ඇති බවත් ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මහතා පවසයි.
2018 හා 2019 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට ගුරු විද්‍යාලවලට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් සිටි සිසුන් වසර පහකට ආසන්න කාලයක් තිස්සේ නිවෙස්වලට වී සිටින බවත් මොවුන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩපිළිවෙළක් නැති බවත් ඒ මහතා කීය.
මහනුවර දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. කොවිඩ් සමයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ගුරු විද්‍යා පීඨ රැසක් යොදාගත් බවත් ඒවාහි මෙට්ට ගිනි තැබීමට සිදුවීම ඇතුළු විවිධ හේතු නිසා ඒවායේ භෞතික සම්පත් රැසක් මේ වන විට විනාශ වී තිබෙන බවත් ගජධීර මහතා පැවසීය. ගුරු සේවයට එක්වීමේ අපේක්ෂාවෙන් විද්‍යා පීඨවලට ඇතුළු වන සිසුන් සඳහා රජය මාසිකව ලබා දෙන්නේ දිනකට රුපියල් 160ක් පමණක් බවත් මේ මුදලින් සිසුන් තුන්වේල පිරිමසාගත යුතු බවත් කී ඒ මහතා ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා පුද්ගලයන් එක් වේලකට වියදම් කරන මුදලින් සිසුන් මාසයක් ආහාර ගන්නේ කෙසේද යන්න සම්බන්ධව ඔවුන් දෙවරක් සිතා බැලිය යුතුව ඇතැයි ද අවධාරණය කළේය.
මේ පසුබිම තුළ ගුරු සිසුන්ට අද කනවා වෙනුවට ලෙවකෑමට සිදුව තිබෙන බවත් ක්ලාන්තය ඇතුළු විවිධ රෝග නිසා දෛනිකව මේ සිසුන් රෝහල් ගත කිරීමට සිදුවන අවස්ථා ඉහළයමින් තිබෙන බවත් ඒ මහතා කීවේය.
ගුරු සිසුන්ගේ අවසන් පරීක්ෂණ ලකුණු ලබා දී ඔවුන් ගුරුවරු ලෙස පත්වීම් ද ලබා තිබුණත් පිළිතුරු පත්‍ර ගාස්තු වසර දෙකක් තිස්සේ ගුරු අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ට ගෙවා නැති බවත් එම මුදල් අමාත්‍යාංශයේ කවුරුන් හෝ මංකොල්ල කා තිබෙන බවත් ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ උප ලේකම් එස්.එම්. පී බණ්ඩාර මහතා කීය.
සංගමයේ විධායක සභික හිරෝෂන් වාසමුදල සහ භාණ්ඩාගාරික රංජිත් පල්ලේවෙල මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.