Monday, April 21, 2025
Home » චීන – දකුණු අප්‍රිකානු ජනපතිවරුන් අතර සාකච්ඡා

චීන – දකුණු අප්‍රිකානු ජනපතිවරුන් අතර සාකච්ඡා

by chanaka
August 23, 2023 10:16 am 0 comment

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි ජනාධිපති මන්දිරයේ දී ඊයේ (22) පෙරවරුවේ පැවැත්විණ.

රම්පෝසා ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ දකුණු අප්‍රිකාව ජාතික සංවර්ධන ජයග්‍රහණ රැසක් දිනා ඇත. එසේම, දකුණු අප්‍රිකාව සතු ජාත්‍යන්තර බලපෑම් ශක්තිය ද දිනෙන් දින ඉහළ යමින් පවතින බව ෂී ජින්පිං මහතා පෙන්වාදෙයි. ඒ පිළිබඳව චීනය ප්‍රසාදයෙන් පසුවන අතර, ප්‍රශස්ත සංවර්ධනයක් සඳහා සුබ ප්‍රාර්ථනා කරන බව ද හෙතෙම කියාසිටියේය.

මිත්‍රත්වය මෙන්ම සහයෝගිතා පුළුල් කරමින් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, දෙරටේම පොදු අපේක්ෂාවයි. චීන-දකුණු අප්‍රිකානු අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නංවාලීම සඳහා රම්පෝසා ජනාධිපතිවරයා සමග එක්ව ප්‍රයත්න දරන බව ද ෂී ජින්පිං මහතා කියා සිටි‍යේය.

චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ පොදු ජයග්‍රහණ පිළිබඳ යෝජනා මෙන්ම ක්‍රියාකලාපයට පූර්ණ වශයෙන් සහාය වන බව රම්පෝසා මහතා මෙහිදී පැවසීය. අභියෝගයන්ට එක්ව මුහුණ දී ඉහළ සමානාත්මතාවකින් යුතු, සාධාරණ ජාත්‍යන්තර පටිපාටියක් ගොඩනැගීම සඳහා, දකුණු අප්‍රිකාව ඇතුළු දකුණු අර්ධගෝලීය රටවල්, චීනය සමග සමගිය හා සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඔහු අවධාරණය කළේය.

සාකච්ඡාවෙන් අනතුරුව නායක දෙපළේ ඉදිරියේ, ‘එක් තීරයක් එක් මාවතක්’, නව බලශක්ති, කෘෂි නිෂ්පාදන හා උසස් අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛනවලට අත්සන් තැබිණ. ‘චීන මහජන සමූහාණ්ඩුව හා දකුණු අප්‍රිකානු ජනරජය අතර ඒකාබද්ධ නිවේදනය’ ද මෙහිදී පළකරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT