කොන්ස්තන්තිනෝපල් නගරයේ දූලී මාවතක එක දිගට සිටුවා ඇති තද කළු පැහැ පිළිම පේළියකි. ඈතින් සිටින විට එසේ වෙද්දී, මෑතට ළඟා වන විට, ඒවා හුස්ම ගන්නාහ. ලංසු තැබෙනුයේ, මුඛ විවර කර හනුවේ සවිය සහ දත් සංඛ්‍යාව බැලීමෙනි. අශ්ව වෙෙළඳාමේදී මෙන්ය. සත්තු ගාණට මිනිස්සු විකුණූ අතීතය ඇත්ත වශයෙන්ම ‘මිනිසුන් සේල්’දැමීමක් නොව, මනුෂ්‍යත්වය සේල් දමා ඈවර කිරීමක් විය. බාහු බලයෙන් පරිපූර්ණ අප්‍රිකානු පිරිමි හැට හැත්තෑවක් එක ලණුවෙන් කකුල් ගැට ගසා ඇත්තාහ. ශ්‍රමය වෙනුවෙන් වැටුපක් දීමට වඩා, කඩයෙන් බඩුවක් ගන්නා සේ, මිනිසෙක්ම ගත හැකි ඒ යුගයේ, පර්සි, රෝම ඈ රටවලින් පැමිණි සිටුවරු, සිය අශ්වයාගේ බඳේ, මිලට ගත් වහලා බැඳගෙන, සමුද්‍රය තෙක් ගමන් කර, නැව් නැග්ගාහ.
ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ සිට කොන්ස්තන්තිනෝපලයේදී පමණක් නොව ඊජිප්තුවේ ඇලෙක්සෙන්ඩ්‍රියාහිදී, ටැන්සානියාවේ සෙන්සිබා ආදී වූ සේද මාවතේ පිහිටි අප්‍රිකානු නගරහි මිනිසා වෙත මුදල් ගෙවා මිනිසා මිලට ගත හැකි විය. මනුෂ්‍යකම යන්න වහල්භාවය ඉදිරියේ ‘අහෝසි කාරණයක්’ විය. පිරිමියා ශ්‍රමය සඳහා වහල්කම් කරන්නේය. ගැහැනිය ලිංගික කාර්යය සඳහා වහල්කමට ගැනුණි. එවන් අතීතයක් නිමා කිරීම වූ කලී සමස්ත මානවයාගේම ‘යටපත්ව තිබූ, පින මතුවීමකි’. පාපය බරපතළ ලෙස, කර ඔසවා බැලූ කාලයක් මානව වංශ කතාවේ වී නම්, යුද සමය සහ වහල් යුගය වේ.
වහලා යන පදය දැන් අපේ ජීවිත කතාවෙන් ගැලවී ඇත්තේය. තිබුණු දෙයක් ගලවනවා කියන්නේ සෙල්ලමක් නොවේ. හරියට පළාත් සභා වගේය. එය බලහත්කාර ප්‍රයත්නයකි. වැඩක් ඇත්තෙම නැත. බෙදුම්වාදය සඳහා තබන ලද හිණි මඟකි. නාස්ති කරන මුදල් කන්ද විශාලය. ඒත්, පළාත් සභා අහෝසි කරන්නේ නැත. අඩුම ගානේ ඒ සඳහා ඡන්දයක්වත් ළඟ පාතකදී පවත්වා නැත. මේ දර හැව තවත් දිරා යන්නේ මුත්, ඒ අටමගලය ගලවා ඉවත් කිරීමේ තීන්දුව කිසිවෙක් ගන්නේ නැත. වහල් සමයම ද ඒ වගේය. ස්පාටකස් වැනි සටන්කරුවෝ වහල් භූමියේ සිට මෙහෙයවූ සටන් සහ කොන්ද පණ ඇති නායකයෝ, විරෝධතා මත්තේ, මිනිස්කමෙන් ළතෙත්ව වහල්භාවයේ යදම් මානව ශිෂ්ටාචාරයෙන් ඈතට විසි කර දැමූහ.
අගෝස්තු 23 යනු වහල් වෙළෙඳාම සහ එය අහෝසි කිරීම අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය වේ.
අප දෙපා නඟා යන මේ මඟ තැනී ඇත්තේ, එවන් මිනිස්සු සිදු කළ කැපවීම් ඔස්සේය. යළි එවන් යුගයන් වෙනත් නාමකරණ ඔස්සේ පැමිණිය හැකි බැවින්, නූතන මිනිසා අත ද වගකීමක් තිබේ.
වහල් වෙෙළඳාමේ නූතන ස්වරූපය වන්නේ මිනිස් ජාවාරමය. මූලික නිදහස සීමා වන පරිදි මිනිසුන් ශ්‍රමයේ පිහිටුවීම මිනිස් ජාවාරම වේ. රට යෑමට ඇති ආශාව කරණ කොටගෙන, මේ සඳහා බොහෝදෙනෙක් අසුවන්නාහ. බෝට්ටුවේ නැඟී යුරෝපයට සහ ඔස්ට්‍රේලියාවට යනවා කියන්නේ කැමත්ත පමණක් නොවේ. ඒ සඳහා, මුදල් ද ලබා දෙන්නේ ද යන කෙනාය. එසේ වුවත් ඔහේ ගොස් වෙරළ තීරයක මිනිසෙක් දමා එනවා කියන්නේ, එදා කොන්ස්තන්තිනෝපල් නගරයේදී ලංසු තබා, කාපිරියෙකු මිලට ගැනීමේ ‘වත්මන් රූපයම’ වන්නේය. මෙවන් මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩු ප්‍රමාණය සියයකට අධිකය. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මිනිස් වෙෙළඳාම අත්කර ගෙන ඇති වපසරිය වේ.
ඒජන්සිකාරයා පෙන්වන රැකියා සිහිනයේ දැවටී, ගෘහ සේවයට යවන කාන්තාවෝ, අරාබියේ ගෙදරක කොටු වන්නාහ. නිවාඩුවක් නැත. නින්දක් නැත. බැරි තැනකට ආවොත් බෙහෙත් හේත් ලබන්නාහ. ගෙදරට දුරකතන ඇමතුමක් දීමට නොහැකිය. ඒ නූතන වහල් මෙහෙය හෙවත් මිනිස් ජාවාරමය. රට යෑමේ සිහිනයේ නිමක් නොමැතිව නිමග්නව සිටින මේ රටේ බොහෝදෙනෙක්, ඒ වළේ වැටීම සඳහා නියමිත හෙයින්, යළි ආපස්සට ගොස් මානව ශිෂ්ටාචාරයට ලැජ්ජා නොකරන ලෙස බල කරමු. ඒ සිහින සඳහා මාර්කට් එකක් ඇති බැවින් යළිදු වහල් මෙහෙය ආරම්භ කර ඇති පිරිස් බොහෝය.
අද වැඩේ සිද්ධ වන්නේ බලහත්කාරයෙන් නොවේ අතින් ගෙවාගෙනය.
ඉන්දියානු සාගරයේ පිහිටා ඇති, රීයූනියන් දූපතේ අයිතිය ඇත්තේ ප්‍රංශයටය. ශ්‍රී ලංකාවට වම් පසින් මැඩගස්කරය ආසන්නයේ පිහිටා ඇති මේ දූවේ, ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2507කි. අතීතයේ ‘මිනිසුන් සුන්වූ’ කලාපයක් ලෙස තිබූ මේ දූපතේ, දැන් ජනගහනය ලක්ෂ නවයකට ආසන්නය. රීයූනියන්හි මුදල් ඒකකය යූරෝය. ධීවර කර්මාන්තය, සීනි කර්මාන්තය මෙන්ම සංචාරක ව්‍යාපාරය මෙහි ප්‍රධාන අදායම් මාර්ගයන්ය. අපේ රටේ සාමාන්‍ය මිනිස්සු මේ දූපත ගැන මෙලෝ හසරක් දන්නේ නැත. එහෙම වුණාට මීගමුව පැත්තේ, මේ දූපතට කියන්නේ ප්‍රංශයට යෑම සඳහා පහසුම මාර්ගය බවය. ගමනට වියදම එක් අයෙකුට ලක්ෂ පහක් – හතක් පමණ වේ. ගමන බෝට්ටුවෙන්ය.
රීයූනියන් බලා ගිය බෝට්ටු සම්බන්ධයෙන් කතා, අපමණය. මේ උදාහරණය වූ කලී, මිනිස් ජාවාරම සඳහා කැමැත්තෙන් ලක්වීම පිළිබඳවය.
දේශීය වශයෙන් ‘අරකි මිරිකි’ කරන ස්ථාන හෙවත් ස්පා සඳහා තරුණියන් සපයන්නේ ද මේ ‘කැමැත්තේ න්‍යාය’පෙරටු කරගෙනය. මාදිලි ගණනාවක් ඇතත්, ඒ බොහොමයක් ‘අත්සන ලබාගෙන’ කරන දෑ ය. එසේ වූ පළියට ජාවාරම නෛතික නොවේ. නමුදු ලක්වීම, එමට වේ.
වහල් බවේ බැමි සිඳ නිදහස් මිනිසුන් ලෙස දිවි ගෙවන සමාජ වරම අප උපතින් ලද දායාදයකි. ඒ දායාදය ලාභයට හෑල්ලු කර ‘නවයුගයක වහලුන් නොවෙමු’ යැයි මේ තීරුව අද දිනයේ යෝජනා කර සිටියි.