Wednesday, April 23, 2025
Home » අඹේවෙල කිරි ගොවිපොළ භූමියේ මැණික් ගැරීමක් ගැන විමර්ශණයක්

අඹේවෙල කිරි ගොවිපොළ භූමියේ මැණික් ගැරීමක් ගැන විමර්ශණයක්

by chanaka
August 23, 2023 12:52 pm 0 comment

රජය සතු අඹේවෙල කිරි ගොවිපොළේ මැණික් ගැරීම සිදුවන බැවින් වහාම ඒ සම්බන්ධව විමර්ශණයක් සිදු කර එම කටයුතු අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඩබ්. සිරිල් මහතාට උපදෙස් දුන්නේය.

දැනට අපේ රටේ වැඩිම හා වටිනාම මැණික් ප්‍රමාණයක් අඹේවෙල කිරි ගොවිපලට අයත් භූමියේ ඇතැයි සැළකේ. මේ වනවිට එම ගොවිපොළ පුද්ගලික අංශයට බදු දී ඉතාමත් සාර්ථකව කිරිගව පාලනය සිදු කරනු ලබයි. නමුත් ඇතැම් බාහිර පුද්ගලයින් මෙම ඉඩමට හොර රහසේ ඇතුළුව මැණික් ගැරීම සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බැවින් එම කටයුතු නැවැත්වීම සඳහා වහාම මැදිහත්වන ලෙස අමාත්‍යවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

අප රටේ කිරි කර්මාන්තය නැංවීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (22) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම අවස්ථාවට පශු සම්පත් අංශයේ නිලධාරින් මෙන්ම පුද්ගලික අංශය නියෝජනය කරන කිරි කර්මාන්තකරුවෝද සහභාගි වූහ.

2022 වසරේ අප රටේ කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 505ක් වුවද මෙම වසරේ මේ වනවිට කිරි ලීටර් මිලියන 560ක් දක්වා වර්ධනය වී ඇත.

නමුත් දැනට රට පුරා පවතින දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එළගවයින් හා මීගවයින්ට අවශ්‍ය ජලය හා ආහාර නොමැතිවීම කිරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි පශු සම්පත් සංවර්ධන අංශය පෙන්වා දෙයි.

මේ වනවිට අප රටේ දේශීය ගවයින් 587,600ක්, වැඩි දියුණු කරන ලද ගවයින් 165,910ක් ඇතුළුව 753,510ක් සිටිති.

නමුත් අපේ රටේ ජාතික අවශ්‍යතාවය වන වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 750ක් දක්වා නැංවීමට නම් තවත් ගවයින් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ.

මෙම සතුන් ලබා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්දියාවෙන් හෝ පකිස්ථානයෙන් ලබා ගැනීමට සාකච්ඡා කිරීම මෙන්ම අපේ රටේ පුද්ගලික අංශයේ ගොවිපොලවලින් සහන මිලට ලබා ගැනීම හා මුල්‍ය ප්‍රතිපාදන යොදවා මිලට ගැනීම යන කරුණු සම්බන්ධව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරනු ලැබිනි.

එහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දියහැකි අපේම ගව විශේෂයක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ අරඹන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මේ වනවිට උප්පුවේලි ගොවිපොළේ එම ප්‍රදේශයට ඔරොත්තු දෙන ගව විශේෂයක් හඳුන්වා දී ඇති නිසා ඒ ආකාරයට වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගව විශේෂයක් ද හදුන්වා දීමට අවශ්‍ය දැනුම සහිත විද්‍යාඥයින් සිටින නිසා ඒ සඳහා පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.

ඒ අතර අඹේවෙල ගොවිපොළෙහි සිදු කෙරෙන අනවසර මැණික් ගැරීම් සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළ කළේය.

මෙම සාකච්ඡාවට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT