මහනුවර තරු හෝටලයක නවාතැන්ගෙන එහි කාමරයක සිට මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කරන අවස්ථාවේ දළදා මාළිගාවේ අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යවා දර්ශන ලබාගත් බව කියන චීන ජාතිකයෙක් මහනුවර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා පෙරේදා (21) රාත්‍රී 9.30ට පමණ ඩ්‍රෝන කැමරාව යොමු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.
ඩ්‍රෝන කැමරාව දළදා මාළිගාවට ඉහළින් පියාසර කරන බව හඳුනා ගැනීමෙන් පසු ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ රාජකාරී සඳහා යොදවා සිටින ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මෙම ඩ්‍රෝන කැමරාව බිම හෙළීමට පියවර ගෙන තිබිණ.
එය අම්පිටිය රතු බෝක්කුව ප්‍රදේශයට ඇද වැටී තිබෙන බව වාර්තා වන අතර වැඩිදුර විමර්ශන සඳහා එය පොලිස් පරිගණක ඒකකය වෙත භාර දී ඇත.
හතළිස් තුන් හැවිරිදි මෙම චීන ජාතිකයා පසුගිය 20 වැනි දින චීනයේ සිට මෙරටට පැමිණ තිබෙන බවත් ඊට පසුදින මහනුවරට පැමිණ හෝටලයේ ලැගුම් ගෙන තිබෙන බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරෙයි.