– රට වටේම ඉඩම් – ගෙවල් අරන්
– සුපිරි ජීවිතයක් ගෙවමින් හෝටලයකුත් හදනවා
– රැවටුණු අයගේ ‘ෆේස්බුක්’ බුකියකුත්
දෙස් විදෙස් සමාගම්වල මුදල් ආයෝජනය කර ඉහළ පොලියක් ලබාදෙන බව සඳහන් කරමින් ගාල්ල හා ඒ අවට පදිංචි පුද්ගලයන් විශාල පිරිසක් රවටමින් මුදල් රැස්කර රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර සැඟව සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.
දේශීය වශයෙන් ඇය විසින් මුදල් ආයෝජනය කරන බව සඳහන් කර ඇත්තේ මත්පැන් විකිණීමේ ව්‍යාපාරයකට සහ මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් සඳහාය.
2019 වසරේ සිට 2023 වසර දක්වා ඇය වසර 04ක් තිස්සේ සිය දහස් ගණනකගෙන් ආයෝජන ලෙස මුදල් ලබාගෙන කෝටි ගණනක මුදලක් ඇය විසින් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
නිරෝෂා නිෂාන්ති නමැති කාන්තාව විසින් මෙසේ ගාල්ල හා ඒ අවට පුද්ගලයන් සිය දහස් ගණනක් රවටා ඇති බව පෙනී යන බවත් ඇයට එරෙහිව දකුණේ පොලිස් ස්ථාන රැසකම පැමිණිලි ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම කාන්තාව විසින් මෙසේ ආයෝජන ලෙස රැස් කරගත් මුදල් වියදම් කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටින බවත් ඇයට අයත් බව කියන හෝටලයක් ඉදි කරමින් තවත් දේපොළ මිල දී ගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවත් එම නිලධාරියා කීය. ජනතාවට වංචා කරමින් ලබා ගන්නා මුදල් යොදවා ඇය විසින් රට වටේම විවිධ ප්‍රදේශවලින් නිවාස හා ඉඩම් මිල දී ගෙන ඇති බව ද අනාවරණය වූ බව එම නිලධාරියා කීය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ඇය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ඇයට එරෙහිව කාන්තාවක විසින් කළ පැමිණිල්ලකට අනුව බව එම විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. අවුරුදු 44ක් වන මෙම කාන්තාව තමන්ට වංචාවක් කරන බව මුදල් ලබාදුන් අයට දැනී ඇත්තේ මුදල් ඉල්ලා සිටියදී මුදල් නොදී මඟහැරීම නිසාය.
මෙම කාන්තාව මාස 06ක පමණ කාලයක් තිස්සේ කට්ටිපනිමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.
රුපියල් ලක්ෂයේ සිට රුපියල් මිලියන ගණනින් මෙම කාන්තාව මුදල් ලබා ගැනීම් කර ඇති බවත් ගාල්ලේ ව්‍යාපාරිකයන්, රාජ්‍ය ආයතනවල සේවයේ නිරත නිලධාරීන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඇගේ වංචාවට හසු වී ඇති බවත් පොලිසිය කියයි.
ගාල්ල කේන්ද්‍ර කරගෙන ඇය විසින් මෙම වංචාව කරගෙන ගොස් ඇති බවත් විශාල පිරිසක් ඇයට හසුවී ඇතත් ලැජ්ජාව හේතුවෙන් ඇයට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වී ඇත්තේ වංචාවට හසුවූ පුද්ගලයන්ගෙන් සුළු ප්‍රමාණයක් පමණක් බව පෙනී යන්නේ යැයි ද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම කාන්තාවට රැවටුණු අයගේ මුහුණුපොතේ එකමුතුවක් ද ඇති බව පොලිසිය කියයි. ඒ ඔස්සේ මෙම කාන්තාවට රැවටුණු පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමක් ද සිදු කරනු ලබයි.
මෙම කාන්තාව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 500ක ශරීර ඇපයක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.