ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය විසුරුවා අතුරු කමිටුවක් පත් කිරීම මගින් මේ වසරේ අන්තර්ජාතික තරගාවලි තුනක් ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ට අහිමිවී ඇතැයි එම සම්මේලනයේ හිටපු නිලධාරීහූ පවසති. බංග්ලාදේශයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ, දකුණු ආසියා ක්‍රීඩා උළෙල හා ලබන නොවැම්බර් මාසයේ හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා කරාතේ තරගාවලිය කරාතේ දෝ සම්මේලනය තහනම් කොට අතුරු කමිටුවක් පත්කිරීම තුළින් අහිමිවී ඇතැයි ඔවුහු සදහන් කර සිටිති.
ගෙවීගිය වසර 7ක කාලය තුළ ජාත්‍යන්තර හා දේශීය තරග සංවිධානය කොට සාමාජිකයින් 460ක ප්‍රමාණයක් සක්‍රීය තත්ත්වයේ පවත්වාගෙන යන තම සංගමය කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා අතුරු කමිටුවක් යටතට පත් කිරීම අසාධාරණ බව හිටපු නිලධාරීහු පෙන්වා දෙති.
හිටපු ප්‍රධාන ලේකම් කීර්ති බස්නායක, උප සභාපති මහින්ද සුවාරිස්, උප භාණ්ඩාගාරික ඉවර්ජින් ප්‍රනාන්දු හා රත්නපුර දිස්ත්‍රික් කරාටේ දෝ සම්මේලනයේ සභාපති එන්. එස්. ධම්මික යන මහත්වරු කොළඹ එන්. එම්. පෙරේරා ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළහ.
“ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් විසුරුවා අතුරු කමිටුවක් පත්කොට තිබෙනවා. ඒ අතුරු පාලක කමිටුවට පත්කොට ඇති ඇතැම් පුද්ගලයින් පසුගිය නිලවරණයේදී අප සමග ඡන්දය ඉල්ලා පරාජයට පත්වූ අයයි. ඡන්දයකින් බලයට එන්න බැරි ඇතැම් පුද්ගලයින් ඇමැතිතුමා නොමඟ යවා අතුරු කමිටුවක් මගින් බලය ලබාගෙන තිබෙනවා. මේ තුළින් ක්‍රීඩාව ආපස්සට යනවා. මේක කරාතේ ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා නිලධාරීන්ට කළ අසාධාරණයක්“ හිටපු ප්‍රධාන ලේකම් කීර්ති බස්නායක මහතා පැවැසීය.
හිටපු උප සභාපති මහින්ද සුවාරිස් මහතා සඳහන් කළේ තම සම්මේලනයේ නිලධාරීන්ට කිසිදු මූල්‍ය හෝ වෙනත් චෝදනාවක් නොමැති තත්ත්වයක් තුල පරිපාලනය අතුරු කමිටුවකට භාරදීම පුදුම සහගත බවයි. “ අතුරු කමිටුවේ ඇතැම් අයට චෝදනා රාශියක් තිබෙනවා. එක් අතුරු කමිටු නිලධාරියෙක් ජපානයේ පැවැති ආසියානු ශූරතාවලියේදී ක්‍රීඩකයෙක් අතුරුදන් කොට තිබෙනවා. හමුදා සේවයේදී සිදුකළ අක්‍රමිකතා හේතුවෙන් තවත් අයෙතු සේවයෙන් පහකොට තිබෙනවා. කරාතේ දෝ සම්මේලනෙයේ අපේ භාණ්ඩාගාරය සතුව රුපියල් කෝටි 2ක් ඉතිරිකොට තිබෙනවා. ඒක විනාශ කරන්න මේ අතුරු කමිටුව කටයුතු කරනවා. අතුරු කමිටුවට බෑ ජාතික කරාතේ සංචිතය කැඳවීමට. ඒක නීති විරෝධී ක්‍රියාවක්“ සුවාරිස් මහතා පැවැසීය.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ඉදිරි නිලවරණයේදී හිටපු නිලධාරීන්ට නාමයෝජනා ලබාදීමට නොහැකි වන සේ වාරණ පැනවීමේ සූදානමක් ඇතැයි හිටපු උප භාණ්ඩාගාරික ඉවර්ජින් ප්‍රනාන්දු මහතා පැවැසීය. එමෙන්ම අතුරු කමිටුවක් දැමීමෙන් ශ්‍රී ලංකා කරාතේ ක්‍රීඩාව ජාත්‍යන්තරය හමුවේ අප්‍රසාදයට ලක්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් කරාටේ දෝ සම්මේලනයේ සභාපති එන්. එස්. ධම්මික මහතා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.
ප්‍රින්ස් ගුණසේකර