Home » මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනයට විශේෂ අවධානයක්

මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනයට විශේෂ අවධානයක්

by yasara
August 21, 2023 10:38 am 0 comment

drugs 12

මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ‘රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ සාකච්ඡා වූ බව වාර්තා වෙයි.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ එම කාරක සභාව අමාත්‍ය  ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කැඳවා තිබූ අතර මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මෙම අංශ ගෙන ඇති පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.

මෙහිදී මෙම කමිටුවේ සභාපති අමාත්‍ය  ටිරාන් අලස් මහතා සඳහන් කළේ මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කොට ඇති බවයි.

එසේම මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම නැවැත්වීමට විශාල වශයෙන් පියවර ගෙන ඇති බවයි. ඒ වෙනුවෙන් අසල්වැසි රටවල බුද්ධි අංශ වලද සහය ලබාගන්නා බව ඔවුහු පැවසූහ.

තවද දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා ගත හැකි යෝජනා කිහිපයක් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් කමිටුවට ඉදිරිපත් කරන ලදි. එසේම මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කටයුතු කරන බව එය නියෝජනය කරමින් පැමිණි නිලධාරීහු මෙහිදී පැවසූහ.

පැමිණ සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ අතර මෙහිදී මෙම කාරක සභාවේ සභාපති අමාත්‍ය  ටිරාන් අලස් මහතා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාද සැලකිල්ලට ගෙන මෙම පැමිණ සිටි අංශ වල යෝජනා ඇතුළත් වාර්තාවක් කමිටුවට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය  (නීතීඥ) සිසිර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  බුද්ධික පතිරණ,  ජයන්ත සමරවීර,  (වෛද්‍ය) උපුල් ගලප්පත්ති,  උපුල් මහෙන්ද්‍ර රාජපක්ෂ,  රාජිකා වික්‍රමසිංහ සහ  මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT