Home » වැඩි පොලියක් දෙන බව කියා කෝටි 20ක් වංචා කරලා මීගමුවේ අඹු-සැමි යුවළ අමෙරිකාවට පනින්න යද්දී මාට්ටු

වැඩි පොලියක් දෙන බව කියා කෝටි 20ක් වංචා කරලා මීගමුවේ අඹු-සැමි යුවළ අමෙරිකාවට පනින්න යද්දී මාට්ටු

by sachintha
August 21, 2023 3:50 am 0 comment

හොර සමාගම ඇත්තේ මීගමුව කට්ටුවේ

එක් පැමිණිලිකරුවෙක් රන් පවුම් 150ක් තියලා

ඩුබායි හී ව්‍යාපාරික ආයතනවල මුදල් ආයෝජනය කිරීම තුළින් වැඩි පොලියක් ලබාදෙන බව සඳහන් කරමින් රුපියල් මිලියන 200කට (කෝටි 20) අධික මුදලක් වංචා කර අමෙරිකාව බලා පලායාමට සූදානම් වූ අඹු-සැමි යුවලක් හා දරු දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සහ මෙරට ලියාපදිංචි කර ඇති ව්‍යාපාරික ආයතනයක නමින් මෙම යුවල මෙම වංචාව කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මීගමුව හලාවත මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේ මෙම ව්‍යාපාරික ආයතනය ස්ථාපිත කර ඇති බව ද එම නිලධාරියා කීය.

මෙම යුවල පදිංචිව සිට ඇත්තේ මීගමුව පෙරියමුල්ලේ පිහිටි නිවාස සංකීර්ණයක පිහිටි නිවසකය. මෙම යුවල විසින් ඩුබායි හී සමාගම්වල මුදල් ආයෝජනය කර වැඩි පොලියක් ලබා දෙන බව සඳහන් කරමින් මුදල් හා රන් භාණ්ඩ ලබාගෙන වංචාකර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිලි 06ක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වසර විස්සකට අධික කාලයක් විදේශගතව සිට මෙරට ව්‍යාපාරයේ යෙදෙන මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ ඒකකය වෙත සිදු කළ පැමිණිල්ලක් අනුව මූලික විමර්ශන සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.

මීගමුව හලාවත පාරේ කුරණ ප්‍රදේශයේ සැකකාර අඹු-සැමි යුවළ ආර් ඇන්ඩ් ආර් සමූහ ව්‍යාපාර නමින් පවත්වාගෙන යන ආයතනයකට වසර දෙකකට ඉහතදී රුපියල් ලක්ෂ 1,600ක මුදලක් මෙන්ම රන් පවුම් 150ක් ආයෝජනය කළ ද ගිවිසුම් ගත වූ පරිදි ලාභාංශ මෙතෙක් ලබා නොදුන් බවත් එම මුදල් සිංගප්පූරුවේ ඔවුන් විසින් පවත්වාගෙන යන ආර් ඇන්ඩ් ආර් කාර් කෙයාර් ප්‍රොඩක්ස් සමාගමට ආයෝජනය කරන බවත් පැවසූ බව පැමිණිල්ලේ සඳහන්ය.

ලාභාංශ පිළිබඳ විමසීමේදී දිනෙන් දින විවිධ දෑ පවසමින් මඟ හරින බවත් ඔහු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී එම ආයතනයට විරුද්ධව රුපියල් ලක්ෂ 400ක මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් තවත් පැමිණිලි පහක් ලැබුණු බව පොලිසිය සඳහන් කරයි.

පැමිණිලි ලද වහාම අදාළ සැකකාර යුවලට විරුද්ධව ඉකුත් මස 14 වෙනි දින අධිකරණය හරහා විදේශ ගමන් තහනමක් ද ලබාගෙන ඒ බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත දැනුම් දීමට ද පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා අමෙරිකාවට පලායාමට සූදානම් වී ඇත්තේ මෙම විමර්ශන ආරම්භවීමත් සමඟිනි. පසුගිය 14 වෙනිදා ඔවුන්ට අමෙරිකාව බලා යාමට වීසා ලැබී ඇති බවත් 19 වෙනිදා හෝ ඒ ආසන්න දිනකදී ඔවුන් රටින් පිටවීමට සූදානම් වෙමින් සිටියදී 18 වෙනිදා අත්අඩංගුවට ගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම යුවලට එරෙහිව පැමිණිලිකර ඇති එක් පුද්ගලයෙක් විසින් රන් පවුම් 150ක් ලබාදී ඇති බවද එම නිලධාරියා කීය.

මෙම යුවල මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මීගමුව ධනවත් ව්‍යාපාරිකයන් වෙසෙන දැඩි ආරක්ෂාවක් සහිතව තිබෙන සුපිරි නිවාස සංකීර්ණයක සුඛෝපභෝගී තෙමහල් නිවසක් කුලී පදනම මත ලබාගෙන දරු දෙදෙනා සමඟ පදිංචිව සිටින සැකකාර අඹු-සැමි යුවළ අවුඩි කියු 5 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කරන බවත් දරු දෙදෙනා ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන බවත් පොලිසිය සඳහන් කරයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාගේ උපදෙසින් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇසලම් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ නායකත්වයෙන් හා මෙහෙයැවීමෙන් උප පොලිස් පරීක්ෂක මහේෂ්, සැරයන් ජයන්ත (14156), කොස්තාපල් විජේසිරි (9410) යන නිලධාරීන් විමර්ශන පවත්වා සැකකාර යුවල අත්අඩංගුවට ගෙන තිබේ.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම-බිමල් ජයසිංහ, හල්තොට සමූහ – විනීතා එම්. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT