Sunday, April 20, 2025
Home » රබර් කියන්නෙ ලංකාවට කප්රුකක් – ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (පර්යේෂණ) ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න

රබර් කියන්නෙ ලංකාවට කප්රුකක් – ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (පර්යේෂණ) ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න

by sachintha
August 21, 2023 5:32 am 0 comment

කුඩා රබර් වතු හිමියන්ගේ දායකත්වය වැඩියි

යටි වගාවෙන් තවත් ආදායමක්

රබර් වෙනුවට කටුපොල් සිටවීම පරිසරයට හානියක්

මේ වගාව හොඳ ආයෝජනයක්

මෙරටට ප්‍රධාන ලෙස විදේශ විනිමය ලබා දෙන අපනයන ද්‍රව්‍යයක් වන රබර් කර්මාන්තය පිළිබඳව මේ දිනවල විවිධ අදහස් පළ වේ. ඇතැමුන් සඳහන් කරන්නේ රබර් කර්මාන්තය මේ වන විට විශාල කඩා වැටීමකට ලක්ව තිබෙන බවයි. තවත් පිරිසක් පවසන්නේ කලින් කලට මෙවැනි තත්ත්වයන් ඇති වුවද එහි බලපෑම දීර්ඝ කාලීන නොවන බවය. මේ ඒ රබර් කර්මාන්තය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති රබර් පර්යේෂණ ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (පර්යේෂණ) ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න මහත්මිය සමඟ කළ සංවාදයකි.

 

පසුගිය මාසවල ඉහළ මිලකට අලෙවි වූ රබර් අද වන විට අලෙවි වන්නේ අඩු මිලකටයි. මේ තත්ත්වයට බලපාන හේතුව මොකක්ද, මේ තත්ත්වය නිසා රබර් කර්මාන්තයට දීර්ඝ කාලීනව බලපෑමක් එල්ල වෙයිද?

ඇතැමුන් කියනවා මේ තත්ත්වයට ඩොලරයේ ශක්තිය හීන වී රුපියල ශක්තිමත් වීම නිසා රබර් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගියා කියලා. ඒ අදහසේ යම් ඇත්තක් නැහැ කියලා මම කියන්නේ නැහැ. එහෙත් ඒක, රබර් මිල මේ දිනවල පහළ යාමට එකම හේතුව විදිහට කිසිවකු සඳහන් කරනවා නම් ඒකේ ඇත්තක් නැහැ. ඇත්තෙන්ම අපේ ප්‍රධාන අපනයන භෝගයක් විදිහට රබර් ගැන අපි ආඩම්බරයෙන් කතා කළත් අපට ලෝක වෙළෙඳ පොළ ඇතුළත ලොකු පංගුවක් නැහැ. ඒ නිසා අපට ලෝකය තුළ රබර් මිල තීරකයකු වෙන්න හෝ අපි මේ ගාණට රබර් දෙන්නෙ නැතිනම් රබර් දෙන්නේ නැහැ කියල කියන්න තරම් ශක්තියක් නැහැ. ඇත්තෙන්ම අපේ ලෝක රබර් පංගුව දැන් සියයට එකක් වගේ ඉතාමත් අඩු ප්‍රතිශතයක් තිබෙන්නේ. ඒ තත්ත්වය තුළ අපට එහෙම ලොකු බලපෑමක් කරන්න බැහැ.

අතීත දත්ත විමසා බැලුවාම පැහැදිල වන කරුණක් තමයි මෙහි මිල ගණන් චක්‍රීය විදිහට ඉහළ පහළ යාම් සිදුව තිබෙනවා. අප මේ තත්ත්වය නිසි විදිහට තේරුම් ගත්තේ නැහැ. අප සිදු කළේ රබර් මිල ඉහළ ගිය ගමන් රබර් වගාවන් ඇති කිරීමත් රබර් මිල පහළ ගිය විගස රබර් වගාව අතහැර දැමීමත් පමණයි. එමඟින් රබර් වගාවට සිදු වුණ යහපතක් නැහැ.

2022 අවුරුද්දේදි රබර් මිල රුපියල් 1200 තරම් මිලකට ඉහළ ගියා. ඒත් එදා පැවැති ඩොලරයේ මිල අනුව ඒ ගණන 2011 මිලට සමානයි. ඒ නිසා කුමන පැත්තකින් සලකා බැලුවද රබර් වගාව ආර්ථික වගාවක් විදිහට පාඩු ලබන වගාවක් නොවෙයි. ඒ නිසා කිසිවකු රබර් වගාව කරන්න බය වෙන්න එපා. රබර් වගාව කියන්නේ අපේ ආර්ථික තත්ත්වයට විශාල ශක්තියක් එක් කර ගන්න පුළුවන් වගාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා රබර් කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩසටහනක් රාජ්‍ය මැදිහත් වීම තුළ ඇති කළ යුතුයි. එමඟින් අපට මෙරට ආර්ථිකය වගේම ග්‍රාමීය ආර්ථික තත්ත්වයද නැවත නඟාසිටුවීමට පුළුවන්කම ලැබෙන එක ස්ථිරයි.

රබර් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග තත්ත්වයන් රබර් වගාවට විශාල බලපෑමක් සිදු කරන සාධකයක් නේද?

ඔව්, රබර් වගාව ආශ්‍රිතවද විවිධ ආකාරයේ රෝග පැතිර යාමට ලොකු ඉඩක් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ රබර් වගා බිම් ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම කටයුතු ඉක්මනින් කළ යුතුයි. ඒ වගේම ගස නිසි ලෙස නඩත්තු නොකිරීමත් ගසේ පරිමාණයට වැඩියෙන් කිරි ලබා ගැනීමට උත්සාහ කිරීම නිසාත් අවදානම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එසේ ප්‍රමාණය ඉක්මවා කිරී කැපීමට උත්සාහ කිරීම නිසා ගසේ පට්ටය වියළී යාමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර තැන්වල අවශ්‍ය පොහොර ප්‍රමාණ නොදැමීම නිසා ගස් දුර්වල වූ අවස්ථා තිබෙනවා. ඒ වගේම විවිධ උත්තේජක වර්ග ලබා දීමද සිදු වෙනවා. එමඟින්ද ගසට යම් රෝගි තත්ත්වයන් වගේම දුර්බල තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබෙනවා.

රබර් වගාවේ නව රෝගි තත්ත්වයක් 2019 වර්ෂයේදී හඳුනාගනු ලැබුවා. එය නව පත්‍ර පතන රෝගය විදිහට හඳුන්වන්න පුළුවන්. මෙම රෝගි තත්ත්වය රබර් ප්‍රචලිතව තිබෙන බොහෝ දිස්ත්‍රික්කවල පැතිර තිබෙනවා. මෙහිදී සිදු වන්නේ රබර් ගස්වල පත්‍ර විශාල වශයෙන් හැලී යාමයි. සාමාන්‍ය රබර් ගසක පත්‍ර පෙබරවාරි මාසයේදී හැලෙනවා. ඒක සමාන්‍ය තත්ත්වයක් වගේම රබර් ගසටත් යම් ආශිර්වාදයක් විදිහටයි සැලකෙන්නේ. එහෙත් රෝගි තත්ත්වය එයට වඩා වෙනස් ආකාරයකින් සිදු වන්නේ.

රබර් කර්මාන්තය මෙරටට ආදායම් ගෙන එනු ලබන කෘෂි භෝගයක් වුවද අද වන විට ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ කුඩා රබර් වතු හිමියන් විසිනුයි. මෙම කුඩා රබර් වතු හිමියන් පිළිබඳව රාජ්‍ය අවධානය ලැබෙනවා ප්‍රමාණවත්ද?

ඔබ කියූ කරුණ හරි, අද මෙරට මහා පරිමාණ රබර් වගාව සුළුතරය බවට පත්වෙලා තිබෙන්නේ. කුඩා රබර් වතු හිමියන්ගේ පංගුව අද වන විට 64% දක්වා වැඩි වෙලා තිබෙන්නේ. එයිනුත් බහුතරයකට තිබෙන්නේ රබර් අක්කරයක් හෝ එයට ආසන්න ප්‍රමාණයක් පමණයි. තවත් පිරිසකට අක්කර කාලක නැති නම් භාගයක රබර් වගාවක් තිබෙන්නෙ. ඇත්තෙන්ම මේ අයගේ එකම ආදායම් මාර්ගය බවට පත්ව තිබෙන්නේ රබර් කිරි කැපීම පමණයි. ඒ නිසා එක් හොඳ දෙයක් සිදු වෙනවා. එනම් මේ කුඩා ඉඩම්වල රබර් හිමියාම කිරි කැපීම සිදු කරන නිසා ගස්වලට සිදු වන හානිය වගේම නඩත්තුව නිසි විදිහට සිදු කිරීම. ඒ නිසා කුඩා රබර් වතු ආශ්‍රිතව සිදු වන හානි ප්‍රමාණය ගොඩක් දුරට අඩුයි.

රබර් නිෂ්පාදනය පසුගිය අවුරුදු දහය තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය රබර් වගාව සඳහා කුමන ආකාරයෙන්ද බලපානු ලබන්නේ ?

දෙදහස් දහසයේදී රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හැත්තෑනම දහසක් පමණ වුණා. ඒ ප්‍රමාණය 2017 සහ 2018 අවුරුදුවල වැඩි වුණා. නැවතත් පහළ ගියා. පසුගිය අවුරුද්ද තුළ එම ප්‍රමාණය මෑත කාලයේදී වාර්තා වූ අඩුම නිෂ්පාදන පරිමාණය වාර්තා කර තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව විදිහට සලකන්න පුළුවන්කම තිබෙන්නේ රබර් භූමි ප්‍රමාණයේ පරිමාණය අඩු වීම. ඒ ආකාරයට වගා පරිමාණය අඩු වීමට බලපානු ලැබූ ප්‍රධාන සාධකය බවට පත්ව තිබෙන කරුණු අතර, ප්‍රධානම කරුණක් විදිහට තිබෙන්නේ රබර් ගස් ඉවත් කර වෙනත් දේ සඳහා ඒ ඉඩම් යොදා ගැනීමයි. ඒ නිසා රබර් නිෂ්පාදනය වන ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. එයට හේතුවක් වෙලා තිබෙන්නේ රබර් මිල අඩු වෙන කාලවල වෙනත් වගා සඳහා මේ ඉඩම් යොදා ගැනීම සහ අලුත් වගාකරුවන් මේ අංශය සඳහා යොමු වීමට තිබෙන මැළිකමයි.

මේ වන විට සක්‍රිය රබර් වගා ප්‍රමාණය ආසන්න වශයෙන් සඳහන් කරන්න පුළුවන්ද?

දැනට රබර් වගාව සඳහා යොදා ගනු ලබන ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකුයි. මෙය රටේ සෙසු වගා බිම් සමඟ සලකා බලනකොට අඩු ප්‍රමාණයක් විදිහට සඳහන් කිරීමේ වරදක් නැහැ.

ඇත්තෙන්ම රබර් වගාව කියන්නේ දීර්ඝ කාලීන ආයෝජනයක් නිසා එයින් කෙටි කාලීන ඉලක්ක බලාපොරොත්තු වෙනවා නම්, ඒක අනුවණකමක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මේ වගාවේ ඇති ගැටලු කෙටි කාලීනව බලා විසඳන්න උත්සාහ කිරීම සුදුසු දෙයක් නොවෙයි.

රබර් වගාව විදිහට සාර්ථක කර ගැනීමට එක් ගසක් සඳහා ආයෝජනය කළ යුතු මුදල කෙතරම්ද, රබර් වගාවට අමතරව රබර් වතු ආශ්‍රිතව වගා කළ හැකි යටි පෙළ භෝග වගා තිබෙනවාද, ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

රබර් ගසක් කිරි ගන්නා තැන දක්වා වර්ධනය කර ගන්න සාමාන්‍ය විදිහට බැලුවොත් රුපියල් දෙදහස් පන්සියයක් වගේ මුදලක් වැය වෙනවා. මේ ගසෙන් අවුරුදු විසිපහක් තිහක් පුරා කිරි ගන්න පුළුවන්. ඒ තත්ත්වය තුළ ආයෝජනය කළ මුදල මෙන් විශාල ප්‍රමාණයකින් ලාභයක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එනිසා රබර් වගාව කියන්නෙ කිසිසේත්ම අලාභදායක වගාවක් නොවෙයි. වගාව නිසි විදිහට ක්‍රමානුකූලව සහ විද්‍යානුකූලව කළ යුතුයි. එහෙම කළොත් ඇතිවන ගැටලු බොහෝමයක් විසඳාගෙන මේ වගාව සාර්ථක විදිහට කරගනෙ යාමට හැකියාව ලැබෙනවා.

රබර් වගාව පැළ කාලයේදී යටි වගාවක් සිදු කිරීමට පුළුවන් නේද. ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

අනිවාර්යෙන්ම රබර් පැළයක් රෝපණය කර මුල් අවුරුදු පහ තුළ යටි වගාවක් සිදු කරන්න පුළුවන්, උදාහරණයක් විදිහට අද සමහර තැන්වල අන්නාසි වගාව යටි වගාවක් විදිහට පැතිර තිබෙනවා. බඩඉරිඟු, උක් වගේ අතුරු වගාත් රබර් පැළ ලොකු වෙනකම් වගා කරන්න පුළුවන්. එමඟින් වගාකරුවාට අමතර ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට කිව්වොත් රබර් පැළ රෝපණය සඳහා වැය වූ මුදල යටි වගාවලින් අපට පහසුවෙන්ම සොයාගන්න පුළුවන්.

මේ වගාව මඟින් පරිසර සමතුලිතතාවටත් ලොකු බලපෑමක් සිදු කරනවා නේද?

රබර් වගාව මෙරටට ගෙනැවිත් අවුරුදු එකසිය පනහකට වැඩියි. මේ කාලය තුළ රබර් ගස අපේ ගැමි ජන ජීවිතය සමඟ ගොඩක් ළඟින් බද්ධ වෙලා තිබෙනවා. රබර් වගාව වාණිජ වගාවක් වුවත් එය දෙවන වන්නේ වැසි වනාන්තරවලට පමණයි. කිරි කැපීම අවසන් කළ රබර් ගස් නිසා අප රටට පාරිසරික වශයෙන් වඩාත් වටිනා ගස් රැසක් බේරී තිබෙනවා. රබර් නොතිබුණා නම් අපේ වටිනා වැසි වනාන්තරවල ගස් විශාල ප්‍රමාණයක් මිනිස් අවශ්‍යතා වෙනුවෙන් බිලි වීමට ඉඩ තිබුණා.

රබර් දැව ඉන්ධනයක් වගේම වෙනත් භාණ්ඩ නිෂ්පාදනය වැනි කටයුතුවලට යොදා ගන්නවා. තවද ජල මූලාශ්‍ර ආරක්ෂා වීමටද රබර් ගසින් ලොකු පිටිවහලක් සපයනවා.

ඒත් අද කටුපොල් වගේ වගා ඇති කරන්න සමහරු රබර් වගා ඉවත් කරනු ලබනවා. ඇත්තෙන්ම මෙයින් විශාල පරිසර විනාශයක් සිදු වෙනවා. ඇත්තෙන්ම රබර් ගස සුරැකීම පොල්ගස සුරැකීම වගේම කළ යුතු කාර්යයක්.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT