Home » ආබාධිත බව ජයගත් පේරාදෙණියේ චානක පැතුම්ගෙන් කෘෂි නව නිපැයුම් උපකරණ රැසක්

ආබාධිත බව ජයගත් පේරාදෙණියේ චානක පැතුම්ගෙන් කෘෂි නව නිපැයුම් උපකරණ රැසක්

by chanaka
August 21, 2023 8:46 am 0 comment

අන්තර් විශ්ව විද්‍යාල මල්ලවපොර තරගයකදී පූර්ණ ආබාධිත තත්ත්වයට ලක්ව සිටින පේරාදෙනියේ කළුගමුවේ චානක පැතුම් තරුණයා නව කෘෂිකාර්මික උපකරණ රැසක් නව නිපැයුම් ලෙස හඳුන්වා දී තිබේ.

ඒ අතර යාන්ත්‍රික උදැල්ලක්, මඤ්ඤොක්කා ගැලවීම පහසු කරන යන්ත්‍රයක් (Casava Harvesting Hand Tool) , සහ තේ වගාවන්හි වල් පැළ මර්දනයට ආරක්ෂිත වීඩරයක් (Tea Weeder) ද ඔහු විසින් නිෂ්පාදනය කර ඇත.

මෙම උපකරණ කට්ටල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් එහි ඇති ආර්ථික වාසි සම්බන්ධවත් චානක පැතුම් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු බලධාරින්ට ප්‍රදර්ශණය කළේය.

මෙම උපකරණ පිටරටින් ආනයනය කරන උපකරණවලට වඩා ඉතාමත් උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කිරීමට ආබාධිත තත්ත්වයෙන් පෙළුනත් චානක පැතුම් විසින් දරණ ලද උත්සාහය අමාත්‍යවරයා විසින් අතිශය ඇගයීමට ලක් කළේය.

මෙහිදී චානක පැතුම්ට දර්ශණපති විභාගය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මෙන්ම ඔහුට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ රක්ෂණාවරණයක් ද ලබා දීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම චානක පැතුම් විසින් හඳුන්වා දී තිබෙන නව නිපැයුම් කට්ටල අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන හා ව්‍යාපෘති මගින් මිල දී ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, හදබිම අධිකාරියේ සභාපති සරත් විතානගේ යන මහත්වරු ද සහභාගි වූහ. හදබිම අධිකාරියේ සභාපති සරත්චන්ද්‍රසිරි විතානගේ මහතාට මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT