කාරයකින් සංචාරය කර කාන්තාවන්ගේ රන් මාල කොල්ල කාගෙන යන කොල්ල කල්ලියක තිදෙනෙකු එම කාරය හා කොල්ල කාගෙන ගොස් තිබූ රන් මාලයක් සමග ඊයේ (17) අළුයම වීරගුල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන භාර දුන් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
එසේ අත් අඩංගුවට ගෙන ඇති කොල්ලකරුවන් තරුණ පුද්ගලයින් බවත් මොවුන් තිදෙනා තිහාරිය ප්රදේශයේ පදිංචි කරුවන් බව ද පොලිසිය.
වීරගුල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සිසිර ජයකොඩි මහතාගේ මෙහෙය වීම යටතේ එහි පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (17) පාන්දර එම පොලිස්
වසමේ කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදි සැකසහිත ලෙස ධාවනය වෙමින් තිබූ කාරයක් නවතා එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු පරීක්ෂා කිරීමේදී ඔවුන් කාන්තාවන්ගේ රන් මාල කොල්ල කාගෙන යන කොල්ල කල්ලියක තිදෙනෙකු බවට හෙළි වී තිබිණ. මේ අනුව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී පසුගිය 12 වනදා තිහාරිය නගරාසන්නයේ දී කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කා ගෙන යාම හෙළි කිරීමෙන් අනතුරුව එම රන් මාලය ද සොයා ගැනීමට හැකි වී ඇත.
මොවුන් තිදෙනා කුලී පදනම මත වාහන කුලියට දෙන ස්ථානයකින් කුලියට කාරයක් ලබා ගෙන දිවයිනේ විවිධ ප්රදේශවල සංචාරය කර රන් මාල කොල්ල කාගෙන යාම සිදු කොට ඇති බව වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
කිරිඳිවැල ප්රදේශයේ කරන ලද රන්මාල කොල්ලකෑමක් පිළිබඳව මොවුන් තොරතුරු හෙළි කර ඇති බවද පොලිසිය කීය.