Home » බෝධිරාජ මාවත වැසීමෙන් මහජනතාව අමාරුවේ

බෝධිරාජ මාවත වැසීමෙන් මහජනතාව අමාරුවේ

by mahesh
August 18, 2023 1:00 am 0 comment

කුරුණෑගල - කුමාරි දිසානායක

කුරුණෑගල බෝධිරාජ මාවත වසා දැමීමෙන් ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයෝ ඊයේ (17) දැඩි අසීරුතාවට පත් වූහ. පුත්තලම සහ මීගමුව ප්‍රධාන මාර්ග ඔස්සේ පිවිසෙන මගී ප්‍රවාහන බස් රථ නැවතීම ද බෝධිරාජ මාවතේ සිදුකරන අතර එම මාර්ගයේ දෙපස ගොඩනැඟිලි ද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික් උපකරණ ඇතුළු ව්‍යාපාරික ස්ථාන තිබිය දී කිසිදු වාහනයකට එහි නැවතීම ඊයේ (17) හිටි හැටියෙම අත්හිටුවීම නිසා ජනතාව අසීරුතාවට පත් විය. නගරයේ නුසුදුසු ස්ථානවල සහ කෙටි දුරවල පවා කලර් ලයිට් සවි කිරීමෙන් මෙම වාහන තදබදය සිදුවී ඇති බව පෙන්වා දෙන ව්‍යාපාරිකයන් කියා සිටියේ වාහන ගාල් කරන මධ්‍යස්ථාන නොමැතිකම සහ නගරයේ කිසිදු සැලැස්මක් නොමැතිකම නිසා මාර්ග තදබදයක් සිදුවන බවයි. ඊයේ දවසේ ව්‍යාපාරික ස්ථානවලට විශාල ලෙස පාඩුවක් සිදුවී ඇත. ඊට හේතුව උපකරණ මිලදී ගැනීමේදී එය රැගෙන යාමට වාහනයක් මද වේලාවකට හෝ නැවතීමට පොලිසියෙන් අවසර නොලැබීමයි. ආබාධ සහිත පුද්ගලයකුටවත් වාහනයක ගොස් බැසීමේ අවස්ථාව නොලැබීම කනගාටුවකට කාරණාවක් බව ඔවුහු සඳහන් කළහ. ඔවුන් පෙන්වා දෙන්නේ නගරයේ සෑම තැනකදීම පදිකයින් සහ වාහනවල ගමන් කරන්නන් අසීරුතාවලට පත්වන බවයි. ඒ පිළිබඳව නගර සේවා බස් රථ මන්දගාමීව ගමන් කිරීම, මාර්ග අවහිර වන ආකාරයට තාවකාලික වෙළෙඳ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, ඉඩ පහසු නොමැති ස්ථානවල පවා කුලී ත්‍රිරෝද රථ නැවතුම් ස්ථාන පවත්වාගෙන යාම කෙරෙහි අවධානයට ලක් වන්නේ නම් මාර්ගයේ තදබදය අඩු වන බව ව්‍යාපාරිකයෝ මෙන්ම ජනතාව ද පෙන්වා දෙති. මේ පිළිබඳව කුරුණෑගල නාගරික කොමසාරිස් ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නගරයේ තදබදය අවම කිරීමට මෙවැනි ක්‍රියා මාර්ගයක් පොලිසිය සමඟ එක්වී ගත් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT