Monday, April 21, 2025
Home » හෝමාගම තාක්ෂණ පීඨයේ සිසුවකුගේ 380,000ක ජංගම දුරකතනයට විදලා

හෝමාගම තාක්ෂණ පීඨයේ සිසුවකුගේ 380,000ක ජංගම දුරකතනයට විදලා

සොරාගත් සිසුන් දෙදෙනාගෙන් අයෙක් මාට්ටු අනෙකා සොයා පරීක්ෂණ

by mahesh
August 18, 2023 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවකුට අයත් රුපියල් තුන් ලක්ෂ අසූ දහසක් වටිනා ජංගම දුරකතනයක් සොරාගත් එම වසරේම සිසුන් දෙදෙනෙකුගෙන් එක් සිසුවකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවකු බව පොලිසිය පවසයි.

ඉකුත් 04 වැනිදා මෙම ජංගම දුරකතනය අස්ථානගත වී ඇති අතර, ඒ පිළිබඳව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ආවේශන රාජකාරියෙන් අදාළ සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එහිදී ජංගම දුරකතනය තාක්ෂණ පීඨයේ දෙවන වසරේම ඉගෙනුම ලබන සිසුවකු විසින් සොරාගෙන ඇති බවත් එහි මුරපදය ඉවත් කිරීම සඳහා තවත් සිසුවකුට දී ඇති අතර, පසුව ඔහුගේ හිතවත් කොමිනිකේෂන් එකක් පවත්වාගෙන යන බාහිර පුද්ගලයෙකුට දුරකථනය රුපියල් 165,000 මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

පසුව බාහිර පුද්ගලයා එම ජංගම දුරකතනය යළි අලෙවි කිරීම සඳහා මුහුණු පොතෙහි දැන්වීමක්ද පළ කර තිබේ.

එම දැන්වීම පිළිබඳව අවධානය යොමු කළ පොලිස් නිලධාරීන් උපාය දූතයෙකු යොදවා මුහුණුපොතේ දැන්වීම පළ කළ පුද්ගලයා හා සම්බන්ධ වී ජංගම දුරකතනය මිල දී ගන්නා මුවාවෙන් එහි වගකීම් සහතිකපත ඉල්ලා තිබේ.

පසුව ඒ සඳහා දුරකතනයේ මුරපදය ඉවත් කළ සරසවි සිසුවා සම්බන්ධ කර ඇති අතර, එම අවස්ථාවේදී ක්ෂණිකව ක්‍රියාත්මක වී පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ජංගම දුරකතනය සොරාගැනීමේ සිද්ධියේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව ජංගම දුරකතනයේ මුරපදය ඉවත් කොට බාහිර පුද්ගලයකුට අලෙවි කළ පුද්ගලයා, දුරකතනය ද සමඟ පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ජංගම දුරකතනය සොරාගත් ප්‍රධාන සැකකරු මේ වන විට සරසවියෙන් පිටතට නොපැමිණ එහි සැඟව සිටින බවත් ඔහු මීට පෙර සරසවිය තුළ සිදු වූ නවක වදය සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවකුට පහර දීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් පොලිසිය පවසයි.

මොහු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT