Home » චෙන්නායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
සෙල්ෆෝන් එකක් සොරාගත් යාපනයේ තරුණයෙක්

චෙන්නායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

by mahesh
August 18, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරා ගැනීමේ චෝදනාව මත යාපනයේ තරුණයෙකු ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළේදී පෙරේදා (16) අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ පදිංචි 35 හැවිරිදි දිනේෂ් ඥානසූරිය නමැති අය මාස තුනක වීසා බලපත්‍රයක් මත ඉන්දියාවේ චෙන්නායි නගරයට ගොස් ඇති අතර ඔහු දුරකතනය හොරකම් කිරීම සඳහා ගුවන් තොටුපොළේ 7 වෙනි කවුන්ටරය වෙත ගොස් ඇත්තේ පරීක්ෂණ කපොලු 6ක් පසු කරගෙනය.

ඒ වන විට ඔහුගේ වීසා බලපත්‍රයේ කාලයද ඉකුත්ව ගොස් තිබී ඇති අතර, ගුවන් ටිකට් පතක් හෝ වෙනත් කිසිම ලියවිල්ලක් බලපත්‍රයක් හෝ අවසර පතක් නොමැතිව ගුවන් තොටුපොළේ මුර කපොලු අතරින් ඉතා සූක්ෂ්ම ලෙස 7 වෙනි කවුන්ටරය දක්වාම මොහු ගොස් තිබේ.

එසේ ගිය මෙම පුද්ගලයා ගුවන් තොටුපොළ නිලධාරියෙකුගේ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරා ගෙන සාක්කුවට දමා ගෙන ඇති අතර, ඒ සිද්ධිය දුටු වෙනත් කවුන්ටරයක සිටි සේවිකාවක් කෑ ගසා සිද්ධිය සැල කිරීමත් සමඟම අවට සිටි පිරිස් ඔහුව අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ජංගම දුරකතනය හමු වී තිබේ.

සැකකරුව චෙන්නායි පොලිසියට බාර දී ඇති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ඊට අමතරව චෙන්නායි ගුවන්තොටුපොළ නිලධාරීන් කිසිම ලියවිල්ලක් බලපත්‍රයක් හෝ අවසර පතක් නොමැතිව පුද්ගලයෙකු ගුවන් තොටුපොළේ පරීක්ෂා කිරීමේ කපොලු 6 ක්ම පසු කොට ගමන් කළේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර මේ සිද්ධිය මත දැනටමත් චෙන්නායි ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT