විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බිරියට අයත් ඒ.ටී.එම්. කාඩ්පතක් වැටී තිබී අහුලා එම කාඩ්පත උපයෝගී කරගෙන එක් දිනක් තුළ අවස්ථා තුනකදී රුපියල් අසූනවදහසක භාණ්ඩ මිලදී ගත් පුද්ගලයකු හා ඔහුගේ අනියම් බිරිය අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය පවසයි.
තමාට අයත් රජයේ බැංකුවක බැංකු කාඩ්පත සොරාගෙන, කිසියම් පුද්ගලයකු විසින් ගනුදෙනු සිදු කරනු ලැබ ඇති බවට එප්පාවල අංක 03, ගම්මානයේ පදිංචි විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බිරියක් එප්පාවල පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් මත එප්පාවල පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති එස්.ඩබ්ලිව්.ටී.ආර්. ජයම්පති මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු භාණ්ඩ මිලදී ගත් වෙළෙඳසල්වල සී.සී.ටී.වී. පරීක්ෂා කර ඔහු පැමිණි යතුරුපැදිය හඳුනාගෙන මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු බස් රථ රියැදුරකු වන බවත්, ඔහුට නීත්‍යනුකූල බිරියට අමතරව එප්පාවල, ගෝණපතිරාව, ගන්තිරියාගම, ඉපලෝගම, කැකිරාව ප්‍රදේශවල අනියම් බිරින්දෑවරුන් පස්දෙනකු ද සිටින බවත් මෙම පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු පැමිණි යතුරුපැදිය කාන්තාවකගේ නමට ලියාපදිංචි වී ඇති අතර, ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමේදී මෙම අනියම් කාන්තාවන් පිළිබඳ තොරතුරු ද අනාවරණය වී ඇත. සැකකරු එප්පාවල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි පුද්ගලයකු වන අතර, ඔහුගේ එක් අනියම් බිරියක සමඟ මෙලෙස පසුගිය 13 වැනිදා විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ බිරියගේ බැංකු කාඩ්පත එප්පාවල බැංකුවක් අසල වැටී තිබී අහුලාගෙන තිබේ. එම ඒ.ටී.එම්. කාඩ්පත භාවිත කර එදිනම එප්පාවල, තඹුත්තේගම හා කැකිරාව යන ප්‍රදේශ තුනෙහි පිහිටි ස.තො.ස අලෙවිසල්වලින් මොවුන් රුපියල් අසූනවදහසක භාණ්ඩ මිලදීගෙන ඇති බවට පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
ඒ.ටී.එම්. කාඩ්පත හිමි විශ්‍රාමික පොලිස් සැරයන්ගේ බිරිය පසුගිය 15 වැනි දින ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඒ.ටී.එම්. කවුළුව වෙත ගොස් මුදල් ලබා ගැනීම සඳහා කාඩ්පත සොයන විට තම මුදල් පසුම්බියේ එය නොමැති බවට තහවුරු වී තම ඒ.ටී.එම්. කාඩ්පත අස්ථානගත වී ඇති බවට බැංකුවට පැමිණිලි කිරීමට යෑමේදී එම ඒ.ටී.එම්. කාඩ්පත හරහා කිසිවකු ගනුදෙනු කර ඇති බවට තහවුරු වී ඇත. සැමියාගේ වැටුප ඇතුළුව රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් එම ඒ.ටී.එම්. කාඩ්පත් ගිණුමේ තිබී ඇති අතර, ඉන් රුපියල් අසූනවදහසක ගනුදෙනු සිදු වී ඇති බවට අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හා අනියම් බිරිය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.