Home » අරඹෙකෙම දර අඟුරු කම්හල ගමටම වදයක්

අරඹෙකෙම දර අඟුරු කම්හල ගමටම වදයක්

ප්‍රදේශවාසීහු

by mahesh
August 18, 2023 1:00 am 0 comment

සූරියවැව විශේෂ නුවන් ජයසේකර

තණමල්විල අරඹෙකෙම දැඩි පරිසර හානියකට අතවනමින් චීන ජාතිකයන් කිසිප දෙනකු විසින් පවත්වාගෙන යනු ලබන දර අඟුරු කර්මාන්ත ශාලාවකට ගම්මුන්ගෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.

දැඩි පාරිසරික හානියකට අතවනමින් මාස කිහිපයක් තිස්සේ පවත්වාගෙන යන මෙම දර අඟුරු කර්මාන්ත ශාලාවට විරෝධය පළ කරමින් තණමල්විල අරඹෙකෙම ගම්වාසින් පිරිසක් හා පරිසර යුක්ති කේන්ද්‍රය එක්ව ඊයේ (17) විරෝධතාවයක නිරත වූහ. තණමල්විල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කහකුරුල්ලන්පෑලැස්ස ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අරඹෙකෙම ගම්මානයේ රංගකුඹුර මාර්ගයට යාබද පිහිටි පුද්ගලික ඉඩමක චීන ජාතිකයන් පිරිසක් එක්ව මෙම දර අගුරු කර්මාන්ත ශාලාව පවත්වාගෙන යයි. මේ වන විට අදාළ ඉඩමේ පෝරණු 20කින් සමන්විත අංගණයක් ඉදිකර ඇති අතර, එම එක් පෝරණුවන් සඳහා දර ටොන් හතරහමාරක් පමණ එක් කළ හැකිය.

විරෝධතාවයට එක්ව සිටි අරඹෙකෙම පදිංචි කේ.ඩී. ඥානවතී මහත්මිය මෙසේ පැවසුවාය.

“ඉවත දමන දර අතු භාවිත කරමින් මෙම දර අඟුරු කර්මාන්තශාලාව පවත්වාගෙන යන බව පවසා තමයි මෙය මුලින් ආරම්භ කළේ. නමුත් පසුව මෙම කර්මාන්ත ශාලාව සඳහා අඟුරු නිෂ්පාදනය කිරීමට බුරුත, තේක්ක, නැදුන්, ගංකොහොඹ, පළු, වීර, මාර වැනි ඉතා වටිනා ගස් විශාල ලෙස කපා අගුරු කිරීම පටන් ගත්තා. දවසට දැව ලොරි තිහ හතළිහ මෙතනට ආවා. එම අවස්ථාවේදී තමයි ගම්මුන් හැටියට අපි එකතු වුණේ. මෙම කර්මාන්ත ශාලාව චීන ජාතිකයන් කිහිප දෙනකු හා තවත් ඇඹිලිපිටියේ පුද්ගලයන් කිහිප දෙනකු එක්ව අතයට මුදල් දීලා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන ආවා. ගම්මුන් එකතු වෙලා විරෝධය පෑවට පසුව තමයි දැනට තාවකාලිකව මෙය නවත්වා තියෙන්නේ. මේ කර්මාන්ත ශාලාව තියෙන්නේ උඩවලව ජාතික උද්‍යානයට මිටර් 100කටත් වඩා අඩු දුරකින්. ඒ වගේම වන වගාවට මීටර් 200ක් විතර ආසන්නයෙන්. මේ ගම්මාන අවට කොහෙවත් වඩු මඩුවක්වත් දාන්න බලපත්‍ර දෙන්නේ නෑ ජාතික උද්‍යානයට ආසන්නයි කියලා. එහෙම තියෙද්දි දර අඟුරු හදන්න කර්මාන්ත ශාලාවකට කොහොම අවසර දුන්නද කියන්න අපි දන්නේ නෑ. නිලධාරීන් මේවාට වගකියන්න ඕනේ. අපි කියන්නේ ගමේ පළාතේ තියෙන ඉතුරු ගස් ටික හරි රැක ගන්න වහාම මේ කර්මාන්ත ශාලාව වසා දමන්න කියන එකයි.එ සේ නැති වුණොත් ගම්මු හැටියට අපි දැඩි තීන්දුවක් ගන්නවා.

විරෝධතාවට එක්ව සිටි කහකුරුල්ලම්පෑලැස්ස වාළුකාරාමාධිපති දම්පහළ අරියවංශ හිමියන් සහ පාරිසරික යුක්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රිගොඩ මහතා ද මෙහිදී අදහස් දැක්වූහ. අරඹෙකෙම ඊගල් යෞවන සමාජය, ඌරුහොර දේවගිරි ජනතා සංවර්ධන පදනම,කහකුරුල්ලන්පැලැස්ස ග්‍රාම සංවර්ධන සමිතිය, ගිරිදේව ගොවි සමිතිය, සමෘද්ධි සංවර්ධන සමිතිය ඇතුළු ග්‍රාම සංවිධාන රැසක නියෝජිතයෝ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

මෙම කර්මාන්ත ශාලාව පිළිබඳව අප එහි ව්‍යාපෘති කළමනාකරුගෙන් ද විමසීමක් කළ අතර, එහිදි ඔහු කියා සිටියේ, “අපි මේකට භාවිත කරන්නේ කොටන් නෙවෙයි. ඉවත දමන අඟල් දෙකත් අඟල් 05ත් අතර දර අතු විතරයි. කටු අන්දර, මහ අන්දර, කරුමාන්න වගේ දැව විතරයි භාවිත කරන්නේ.

තේක්ක, කොහොඹ වගේ ඒවත් ගන්න පුළුවන්. දැනට මෙතන තියෙන කොටන් ඔක්කොම දැව සංස්ථාවෙන් රුපියල් ලක්ෂ 18කට මිලදී ගත් ඒවා. අවට මිනිස්සු ඉතින් විවිධ ගස් කපලා ගෙනත් දුන්නම අපි ඒවා බාර ගත්තා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT