Monday, April 21, 2025
Home » මර්වින් සිල්වා අත්අඩංගුවට ගන්නැයි යාපනයේ දෙමළ සංවිධාන පොලිසි යයි

මර්වින් සිල්වා අත්අඩංගුවට ගන්නැයි යාපනයේ දෙමළ සංවිධාන පොලිසි යයි

by mahesh
August 18, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයක් හමුවට පත් කරන ලෙස ඉල්ලමින් යාපනයේ දෙමළ සංවිධාන කිහිපයක් විසින් වඩුක්කෝඩෙයි පොලිසියට 16 දා පැමිණිලි කීපයක්ම ඉදිරිපත් කොට තිබේ.

දකුණේ සිංහල ජනතාවට උතුරේ දෙමළ ජනතාව කෙරෙහි වෛරීය හැඟීමක් ඇති වන අන්දමට හිටපු අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කීපයක්ම සිදු කොට ඇති නිසා ඉන් දෙමළ ජනතාවට සිදුව ඇති මානසික කම්පනයට සාධාරණයක් ඉටු විය යුතු බව එම පැමිණිලිවල සදහන් වේ. දෙමළ ජනතාවගේ ඔළු කැලණියට රැගෙන යන බව හිටපු අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීම තුළ ව්‍යංගයෙන් දෙමළ ජනතාවට මරණීය තර්ජනයක් එල්ල කොට ඇති බව පෙන්වා දෙන පැමිණිලිකරුවෝ මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද යාපනයේ දෙමළ සංවිධාන විසින් සිදු කොට ඇති පැමිණිලිවල සදහන් වේ.

ශ්‍රී ලංකාවේ නීතියේ හැටියට සුළු ජාතියක් පහත් කොට සලකා ඔවුන්ව මරා දමන බවට ව්‍යංගයෙන් ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව ද ප්‍රකාශ කරමින් ද්‍රවිඩ සංවිධාන වඩුක්කෝඩෙයි පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත. හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් රජය නිහඩව සිටීම තුළ දෙමළ ජනයා තවත් අසරණ වන බව පැමිණිලි තුළින් පෙන්වා දී ඇති යාපනයේ දෙමළ සංවිධාන මේ ප්‍රකාශ නිසා දැඩි මානසික කම්පනයකට ලක්ව සිටින දෙමළ ජනතාවට සාධාරණව නීතිය හෝ ක්‍රියාත්මක විය යුතු බව වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT