ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව මහජන මුදල් එක්රැස් කිරීමක් සිදු කළ බව කියන මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලයට විදේශගත වීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (17) ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළාය.
මෙසේ නියෝග නිකුත් කෙරුණේ කොළඹ 5 කැප්පෙටිපොල මාවතේ පිහිටි ස්මෝල් ඇන්ඩ් මීඩියමි වෙල්ත් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම අධ්‍යක්ෂක මණ්ඩලය වෙතය.
මෙම මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව මහජන මුදල් එක්රැස්කිරීම පොරොන්දු නෝට්ටුවකින් සිදුකරන බවට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අධිකරණය වෙත කරුණු දැක්විය. විමර්ශනයක් පවත්වන බැවින් එහි අධ්යක්ෂ මණ්ඩලය විදේශගත වුවහොත් විමර්ශනයන්ට බාධා වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 45(3) වගන්ති ප්‍රකාරව අධ්‍යක්ෂක මණ්ඩලය විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට මහ බැංකුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කොළඹ 5 කැප්පෙටිපොල මාවතේ පිහිටි ස්මෝල් ඇන්ඩ් මීඩියමි වෙල්ත් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ පොඩිඅප්පුහාමිලාගේ කිරිවන්දෙණිය ඇතුළු අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය මෙසේ නියෝග නිකුත් කළේය. තව ද මොවුන් විදේශගතව සිට මෙරටට පැමිණීමේදී හා රටින් පිටව යාමේ දී අත්අඩංගුවට ගන්නා ලෙසට ආගමන විගමන පාලකවරයා වෙත ද නියෝග නිකුත් කෙරිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් ඒකකය විසින් මෙම පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.