Wednesday, April 23, 2025
Home » දික්වැල්ලේදී මොරටු සංජීව මැරුවේ හිටපු කමාන්ඩෝ භට‍ෙයක්

දික්වැල්ලේදී මොරටු සංජීව මැරුවේ හිටපු කමාන්ඩෝ භට‍ෙයක්

හරක්කටාගේ මත්කුඩු ජාලයේ කොන්ත්‍රාත්තුවක්

by mahesh
August 18, 2023 12:55 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

දික්වැල්ලේ පිහිටි පන්සල් ඉඩමකදී පාතාලයේ වෙඩික්කරුවකු වූ මොරටු සංජීව නැමැති අපරාධකරුට‍ පසුගිය 15 වෙනිදා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ හරක් කටාගේ මත්කුඩු ජාලයේ සිටින පාතාලයකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ සෙබළකු විසින් බවට තොරතුරු විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

මෙම ඝාතනයට ඔහුට සහාය දී ඇත්තේ ඔහුගේ සහෝදරයා විසින් බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සහෝදරයන් දෙදෙනා දික්වැල්ලේ පදිංචිකරුවන් බවත් ඔවුන් පදිංචිව සිටින දික්වැල්ල, උඩගංගොඩ, ඌරුගමුව ප්‍රදේශයේ නිවස පිටුපස ඇති කැලෑබද ප්‍රදේශයේ සඟවා තිබී වෙඩි තැබීමට යොදාගත් ටී 56 අවිය සහ මැගසිනය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩි තැබූ දිනම රාත්‍රී කාලයේදී සොයාගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම සහෝදරයන් දෙදෙනා මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින අය බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. කමාන්ඩෝ සෙබළා වසර එකොළහකට පමණ පෙර සේවය හැර ගොස් සිටින්නකු බවත් සොරකම් හා මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ඔහුත් සහෝදරයාත් පොලිසියට හසුවී බන්ධනාගාරගතව සිට ඇති බවත් පොලිසිය කියයි. මොවුන් දෙදෙනා මාසයකට පමණ පෙර බන්ධනාගාරයෙන් ඇප මත පැමිණ සොරකම්වල නිරතව සිටිමින් මෙම ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරය අනුව ඩුබායි හි රැඳී සිටින හරක් කටාගේ මත්කුඩු ජාලයේ පාතාල අපරාධකරුවකු වන රුවන් නමැති අය විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි තැබීම කර ඇති බවත් සඳහන්ය.

ඝාතනයට ලක්වූ මොරටු සංජීව නමැත්තාද පාතාලයේ වෙඩික්කරුවකු බවත් කලකට පෙර මාතර රෝහල ඉදිරිපිටදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමටද ඔහු සම්බන්ධ වී ඇති බවත් පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම පාතාලයේ ගැටුමක ප්‍රතිඵලයක්ද එසේත් නොමැතිනම් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වූ ගැටුමක්ද? යන්න පැහැදිලි නොමැති බව විශේෂ කාර්ය බළකායේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම පුද්ගලයා ඝාතනයකර ඇත්තේ මුදල් ගනුදෙනුවක් සඳහා පන්සල්වත්තට ගෙන්වාගෙන කල්තියා සැලසුම්කර බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. වෙඩික්කරු හා ඔහුගේ සහෝදරයා මේ වන විට පලාගොස් සැඟව සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවත් පොලීසිය කියයි.

සොයාගත් ගිනි අවිය දික්වැල්ල පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකාය තංගල්ල කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.සී.එල්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ගිනි අවිය සොයාගැනීම කර තිබේ.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැද්දවත්ත සහ මාතර හම්බන්තොට දිසාභාර නියෝජ්‍ය පොලිස්පති මහේස් සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පවත්වයි. පොලීසිය විශ්වාස කරනුයේ වැඩි කල් යන්නට මත්තෙත් වෙඩික්කරු සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT