Home » කොළඹ 5 තරු හෝටල් පරිශ්‍රයේදී කෝටි 10ක කොකේන් අල්ලයි

කොළඹ 5 තරු හෝටල් පරිශ්‍රයේදී කෝටි 10ක කොකේන් අල්ලයි

by mahesh
August 18, 2023 12:58 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයකදී රුපියල් කෝටි 10කට අධික වටිනාකමක් ඇති කොකේන් කිලෝ 02ක් සමඟ පිලිපීන ජාතිකයකු සහ බත්තරමුල්ලේ හෝටලයක් හිමි ව්‍යාපාරිකයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබූහ.

පිලිපීන ජාතිකයා වයස අවුරුදු 28ක් වයසැති අයෙකි. කොකේන් තොගය සිය ගමන්මල්ලෙහි සඟවාගෙන සංචාරකයකු ලෙස ඔහු පෙරේදා (16) උදෑසන මෙරටට පැමිණ ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි. රේගු පරීක්ෂාවන්ට හසුනොවී රට ඇතුළට පැමිණි මෙම පිලිපීන ජාතිකයා කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන ඇත්තේ කටුනායක සිට කෙලින්ම එහි පැමිණීමෙන්ය.

මෙම පිලිපීන ජාතිකයා සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පෙරේදා (16) දිනයේම තොරතුරු ලැබීමත් සමඟ අදාළ හෝටලය අසල රැකවල්ලාගෙන සිට ඇත්තේ මෙම කොකේන් තොගය රැගෙන යෑමට පැමිණෙන මෙරට ජාලයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමේ සූදානමිනි.

ඒ අනුව මෙම කොකේන් තොගය රැගෙන යෑමට හෝටලයට පැමිණ ඇත්තේ බත්තරමුල්ලේ හෝටලයක් හිමි ව්‍යාපාරිකයෙකි. එම ව්‍යාපාරිකයා හෝටලයට ඊයේ (17) පැමිණ කොකේන් පාර්සලය ලබාගෙන ඔහු පැමිණි මෝටර් රථයේ නැඟී පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේදී වෙස්වළාගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඩුබායිහි රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා විසින් පිලිපීන ජාතිකයාත් බත්තරමුල්ලේ හෝටල් හිමියාත් මෙහෙයවා ඇති බවය. ශිරාන් බාසික් ඩුබායි සිට ලබාදුන් උපදෙස් අනුව හෝටලයට පැමිණි බව ව්‍යාපාරිකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

මෙම පිලිපීන ජාතිකයා ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ පිලිපීනයේ සිට තමා මුලින්ම තායිලන්තයට පැමිණි බවය. අනතුරුව තමා දෝහා කටාර් වෙත ගිය බවත් මත්කුඩු පාර්සලය තමා අතට ලැබුණේ එහිදී බවත් ඔහු පැවසීය.

කොකේන් ග්‍රෑම් එකක මෙරට මේ දිනවල වීථි වටිනාකම රුපියල් 50,000ක් වන බවත් ඒ අනුව මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 10ක් වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ශිරාන් බාසික් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ද පවත්වනු ලබයි. ශිරාන් බාසික්ට අයත් ඔහුගේ පුතා විසින් පවත්වාගෙන ගිය හෝටල් දෙකක් ද පසුගිය කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තහනම් කරනු ලැබීය. ශිරාන් බාසික්ගේ පුතා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ද නාම යෝජනා භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT