මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සතර මහා දේවාලයන්හි සුබ නැකැතට කප් සිටුවීම ඊයේ (17) බස්නායක නිලමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ නැකැත යෙදී තිබුණේ පෙරවරු 6.12ටය. කප් සිටුවීම දේවාල කපු මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු වූ අතර, එම අවස්ථාවට නාථ දේවාල බස්නායක නිලමේ ශානක බණ්ඩාරනායක, විෂ්ණු දේවාල බස්නායක නිලමේ මහේන් රත්වත්තේ, කතරගම දේවාල බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ, පත්තින දේවාල බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර යන මහත්වරු සහභාගි වූහ. විෂ්ණු දේවාලයේ කප් සිටුවීමේ අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එක්ව සිටියේය. කප් සිටුවීමෙන් පසු ඒ ඒ දේවාල මඟින් කප වටා පෙරහර පහක් පවත්වන අතර, එය දේවාල අභ්‍යන්තර පෙරහර ලෙස හැඳින්වෙයි. අනතුරුව පෙරහර රාත්‍රී 10ක් වීදි සංචාරය කිරීමෙන් අනතුරුව දවල් පෙරහර පැවැත්වීමට පෙර කප ගලවා රැගෙන ගොස් ගැටඹේ තොටේදී දිය කැපුම් මංගල්‍යය සිදු කරන අවස්ථාවේ එය ගඟේ පාකර හැරීම පෞරාණික චරිත්‍රයකි. මෙලෙස පාකර හරින කප අල්ලා ගැනීමට ගඟ පහළ විශාල පිරිසක් බලා සිටින අතර, එය ගොවිබිමේ සිටුවීමෙන් සරු අස්වැන්නක් ලබාගත හැකි බවට විශ්වාසයක් ජනතාව අතර පවතී.
949