Sunday, April 20, 2025
Home » රාජකාරි ටී-56 හොරෙන් අරන් මිතුරන් එක්ක දඩයමේ ගිය සැරයන් රිමාන්ඩ්

රාජකාරි ටී-56 හොරෙන් අරන් මිතුරන් එක්ක දඩයමේ ගිය සැරයන් රිමාන්ඩ්

by mahesh
August 18, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

රාජකාරී කටයුතු සඳහා නිකුත් කර ඇති ටී-56 අවිය රැගෙන මිතුරන් දෙදෙනකු සමඟ දඩයමේ ගිය පොලිස් සැරයන්වරයෙක් වාහල්කඩ පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (16) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැරයන්වරයා මොරවැව පොලිසියට අනුයුක්තව ‘රොටවැව’ පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටින අයෙකි.

වාහල්කඩ යාන්ඔය ජලාශයට එපිටින් පිහිටි වනාන්තරයේ දඩයමේ ගොස් සිටි මෙම පොලිස් සැරයන්වරයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා වාහල්කඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ටී-56 අවියක් රැගෙන පුද්ගලයන් තිදෙනකු දඩයමේ යන බවට ලද තොරතුරකට අනුවය.

අත්අඩංගුවට ගන්නා විට ටී-56 අවිය තිබී ඇත්තේ මෙම සැරයන්වරයාගේ මිතුරකු වන කහටගස්දිගිලියේ පදිංචිකරුවකු අතය. අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වාහල්කඩ පදිංචිකරුවෙකි. පොලිස් සැරයන්වරයා හොරොව්පොතානේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වේලා සටහන්කරුවකු ලෙස කටයුතු කරන අයෙකි.

සැරයන්වරයා තමාට රාජකාරි සඳහා නිකුත් කරන ගිනි අවිය පොලිස් මුරපොළේ ස්ථානාධිපති හෝ සෙසු නිලධාරීන්ට හොරෙන් රැගෙනවිත් මෙසේ දඩයමේ ගොස් ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙසේ මීට පෙරත් මොවුන් දඩයමේ ගොස් ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම සැකකරුවන් තිදෙනා ගිනි අවියද සමඟ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT