Sunday, April 20, 2025
Home » බියර් බී පාසල් එන අනුරපුරේ සිසුවියක් අත්අඩංගුවට

බියර් බී පාසල් එන අනුරපුරේ සිසුවියක් අත්අඩංගුවට

බොන්න පුරුදු කළේ සීයාලු!

by mahesh
August 18, 2023 1:00 am 0 comment

අනුරාධපුර - උපාලි ආනන්ද කරුණාදාස

බියර් පානය කර පාසල් පැමිණි වයස අවුරුදු 14ක පමණ බාල වයස්කාර පාසල් සිසුවියක් සිය භාරයට ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කැකිරාව පොලිසිය කියයි.

පසුගිය දිනෙක කැකිරාව අධ්‍යාපන කලාපයේ මහා විද්‍යාලයක් ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි කැකිරාව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු විසින් බියර් පානය කර පාසලට පැමිණ සිටි මෙම සිසුවිය සිය භාරයට ගනු ලැබීය.

පසුව අදාළ සිසුවිය කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතා වෙත ගෙනැවිත් භාර දීමෙන් පසු, සිසුවිය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

මෙම සිසුවිය මත්පැන් පානය කළේ කෙසේ ද? යන්න පිළිබඳ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මවගේ දෙවැනි විවාහයේ සැමියාගේ පියා, (සීයා) විසින් ඇයට බියර් පානය කිරීමට පුරුදු කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මඟින්, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස කාර්යාලයට ද දැනුම් දී ඇති අතර, ඒ අනුව ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කරුණා කීර්තිරත්න මහතා විසින් ද සිද්ධිය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් අරඹනු ලැබීය. එකී විමර්ශනයට අනුව අදාළ සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරියා දුරකතන ඇමතුමක් ගත් අවස්ථාවේදී විදුහල්පතිවරයා දුරකතනය විසන්ධි කරමින් විමර්ශනවලට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

පසුව අදාළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙම දැරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට සහාය නොදක්වන බවටත් බාධා පමුණුවන බවටත් පවසමින් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කරුණා කීර්තිරත්න මහතා කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කර තිබිණි.

මෙම දැරිය බියර් පානය කර පාසලට පැමිණීමට හේතුව සහ ඇයට බියර් පානය කිරීමට පුරුදු කළේ කවුරුන් ද යන්න පිළිබඳවත් සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව ද එකී විමර්ශන අවසානයේදී සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව ද පොලිසිය තවදුරටත් සඳහන් කරයි. මේ වන විටත් දැරිය අධ්‍යාපනය ලබන පාසලේ විනය භාර ගුරුවර ගුරුවරියන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT