Home » අරලගංවිල මහවැලි ගොවිපොළේ ගින්නෙන් අඹ ගස් 100ක් විනාශයි

අරලගංවිල මහවැලි ගොවිපොළේ ගින්නෙන් අඹ ගස් 100ක් විනාශයි

by mahesh
August 18, 2023 1:00 am 0 comment

සිරිපුර - මධුෂානි අබේසිංහ

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ අරලගංවිල මැදගම ප්‍රදේශයේ, මහවැලි ගොවිපොළේ තිබූ අඹ ගස් සියයකට වැඩි ප්‍රමාණයක් පෙරේදා (16) ගිනිගෙන විනාශ වී ඇත.

මෙම අඹ ගස් යායට කිසියම් පුද්ගලයකු ගිනි තැබුවා ද නැත්නම් වෙනත් ක්‍රමයකින් හටගත් ගින්නක් ද යන්න සොයා බැලීමට පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බව මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

අඹ ගස් පිහිටි ගොවිපොළට ගින්න හට ගැනීමත් සමඟ එය නිවා ගැනීමට මහවැලි නිලධාරීන් උත්සාහ ගත්ත ද පවතින අධික වියළි කාලගුණික සහ ඉඩෝරය හේතුවෙන්, එය අසාර්ථක වීමෙන් කෙටි කාලයක් තුළ එම අඹ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව ද සුගත් වීරසිංහ මහතා කීවේය.

මේ දිනවල පොලොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ පවතින අධික වියළි කාලගුණය සහ ඉඩෝරය හේතුවෙන් දඩයම්කරුවන් සහ විවිධ පුද්ගලයන් ළඳු කැලෑවට ගිනි තබමින් සතුන් මරා දඩ මස් ජාවාරමක නිරත වන බව ද වනජීවී නිලධාරීහු සඳහන් කරති.

ඒ අනුව මාදුරුඔය, දිඹුලාගල, වෙහෙරගල, වැලිකන්ද, ත්‍රිකෝණමඩුව, සෝමාවතී ඇතුළු ජාතික වනෝද්‍යාන තුළ මෙන්ම රක්ෂිතවලට ගිනි තබා විවිධ අපරාධ කරන සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව ද පොලොන්නරුව වනජීවි කාර්යාලවල අඩවි ආරක්ෂක නිලධාරීහු පවසා සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT