උප්පුවේලි පොලිස් ස්ථානයේ ගරාජයේ නතර කර තිබුණු පොලිස් කැබ් රථයේ බැටරිය කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් ඇත. WP LE -1317 අංකය දරන මෙම කැබ් රථය යම් දෝෂයක් හේතුවෙන් දින කිහිපයක් තිස්සේම තිබී ඇත්තේ ගරාජයේ බව උප්පුවේලි පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම කැබ් රථය තිබී ඇත්තේ පොලිස් කොස්තාපල් රාජපක්ෂ නමැති නිලධාරියාගේ භාරයේ බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
මෙම නිලධාරියා දින කිහිපයක් නිවාඩු ලැබ නැවත පොලිස් ස්ථානයට පැමිණ පරීක්ෂා කර බැලීමේදී කැබ් රථයේ බැටරිය අතුරුදන්ව ඇති බව දැක තිබේ. ඒ ගැන සිය උසස් නිලධාරීන්ට දැනුවත් කිරීමට පසුගියදා (15) මෙම නිලධාරියා කටයුතු කළේය.
අස්ථානගතව ඇති බැටරිය සොයා විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතත් බැටරිය ගලවාගෙන ගිය පුද්ගලයා ගැන කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත. මෙම සොරකම පොලිසිය ඇතුළේම වැඩක් බවත් පිටස්තරයකුගේ වැඩක් නොවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.