අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික, (විදේශ කටයුතු කොමිසම් කාර්යාලයේ අධ්‍යක්ෂ) චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් පෙරේදා (16) පැවැත්විණි.
නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිංහි 7 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව මේ හමුව සිදු විය. මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව එහිදී වැන්ග් යී මහතා (wang hi) සඳහන් කළේය.
චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වසනීය උපාය මාර්ගික හවුල්කරුවා වන අතර ශ්‍රී ලංකාව සැමවිටම චීනය සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවද අවධාරණය කළ ඒ මහතා මූලික අවශ්‍යතාවලට අදාළ ප්‍රශ්නවලදී චීනය සමඟ එක්ව සිටීම අගය කරන බව ද පැවසීය.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහාය දෙන අතර, ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් හුවමාරුව මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.
ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩිදියුණු කිරීමටත්, “දරිද්‍රතා උගුලෙන්” සහ “නොදියුණු වීමේ උගුලෙන්” මිදීමටත් එහි කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමටත් චීනය උපකාර කරන බවට වැන්ග් යී මහතා ප්‍රතිඥා දුන්නේය.
ශ්‍රී ලංකාව එහි තාවකාලික දුෂ්කරතා ජයගෙන, ජාතික තත්ත්වයන්ට අනුකූලව සංවර්ධන මාවතක් සොයා ගන්නා බවටත්, පුනර්ජීවනය සහ සමෘද්ධිය සාක්ෂාත් කරගනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළේය.