මුහුදට නිකරුණේ ගලා යන ජලය රඳවා ගැනීමට මේ රටේ වැව් පද්ධතියේ රොන්මඩ ඉවත් කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. මෙරට ප්‍රමුඛතා ලැයිස්තුව සැකසීමේදී කෘෂිකර්මාන්තයට සහ වාරි පද්ධතියට ප්‍රමුඛතාව දෙන ලෙස ද රාජ්‍ය ඇමැතිවරයා ඉල්ලා සිටී.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (17) තැපැල් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ මුහුදට නිකරුණේ ගලා යන ජලය වැව්වල රඳවා ගැනීමට හැකි වූයේ නම් මෙවැනි නියඟය පවතින අවස්ථාවක කෘෂිකර්මයට අවශ්‍ය ජලය ලබා ගැනීමේ ගැටලුවක් පැන නොනඟින බවයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස තිහකට කෘෂි ක්ෂේත්‍ර කාර්මික නිලධාරීන් සිටින්නේ එක් අයෙකු බවත් එබැවින් නිසි ලෙස තීන්දු තීරණ ගැනීමටත් ගොවීන්ට නිසි උපදේශනයක් ලබාදීමටත් නොහැකි වී ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ගොවි ජනපදවල භූමි ප්‍රමාණය සලකා බලා හෝ විශ්‍රාම ගිය කෘෂි නිලධාරීන් නැවත බඳවා ගෙන හෝ අලුතින් කෘෂි නිලධාරීන් ප්‍රමාණයක් පුහුණු කිරීමෙන් කෘෂි ක්ෂේත්‍රයේ ඇති ගැටලුවලට පිළියම් ලබා දෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
මාඔයේ ජලය වයඹ පළාතට ලබා ගැනීමට පැහැදිලි ක්‍රමයක් සකස් කරන ලෙසත් අතීත රජදරුවන් විසින් සැකසූ වාරි පද්ධතිය යාවත්කාලීන කිරීමෙන් එයට විසඳුම් ලබා ගත හැකි යැයි ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.
මාර්තු අප්‍රේල් වන විට ගොවි ජනතාව කන්නය ආරම්භ කරමින් කෘෂි කර්මාන්තයේ නියළුණද වියළි කාලගුණය එළඹීම ජලය මදිකම ආදී ප්‍රශ්න ගැන ඔවුන්ට නිසි මාර්ගෝපදේශයක් නොලැබුණේ ප්‍රමාණවත් තරම් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කාර්මික නිලධාරීන් නොසිටීම හේතුවෙන් බව පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරයා එබැවින් නිසි තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය නිලධාරින් ඉල්ලා සිටීමේ මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම්වලට සවන් දෙන ලෙසද පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් හෙක්ටයාර දහසක පමණ වගා හානියක් සිදුව ඇති බවත් මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම්වලට සවන් දී ඔවුන්ට සහනයක් දෙන ලෙස ද රාජ්‍ය ඇමැතිවරයා ඉල්ලා සිටී.
මා ඔය දඹදෙනිය වාරි ව්‍යාපෘතියෙන් වයඹ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට සෙත සැලසෙන බවත් ඒවාට ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතු යැයි ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාවගේ ජීවනෝපාය ලෙස කුකුළු පාලනය සිදු කරන බවත් එබැවින් තමන් බිත්තර ආනයනයට පෞද්ගලිකව අකමැති වුව ද රටේ බිත්තර හිඟය හේතුවෙන් එම ප්‍රශ්නයේදී නම්‍යශීලී වු බව ද කියා සිටියේය.
ජනපති, අගමැති සහ කෘෂිකර්ම ඇමැති වගා හානි ගොවීන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ බවත් වන්දි ලබාදීමේදී ගැටලු පැන නොනගින ලෙස ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකසා වන්දි ලබාදීම සිදුකරන ලෙසද ඉල්ලා සිටී.
ගොවි ජනතාවට වන්දි ලබාදීමේදී වසර 2018 වසරේ ගණනය කිරීම්වලට වඩා වන්දියක් දිය යුතු බවත් රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන සාධාරණ වන්දියක් ලබා දෙන ලෙස තමාගේ ස්ථාවරය බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව්වල ඇති රොන් මඩ සති දෙකකින් ඉවත් කිරීමට ගොවි සංවිධානවල සහයෝගයෙන් රජයට වියදමක් නොවී සිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.