පැල් රැකීමට ගොස් නිවෙසට එමින් සිටි නවගත්තේගම පදිංචි 64 හැවිරිදි පුද්ගලයකු වන අලි ප්රහාරයකින් මියගොස් ඇති අතර, තවත් අලි ප්රහාරයකින් මාමඩුවේ පදිංචි නාරම්මල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය. මේ හැරුණුකොට මීගස්වැව සහ පොතුවිල්හිදී සිදුව ඇති වනඅලි මරණ දෙකක් ද පොලිසියට ඊයේ (17) වාර්තා වී තිබේ. වනඅලි පහර දීමෙන් මියගොස් ඇත්තේ නවගත්තේගම කුරුකැටියාව කුරුලුවැව ගම්මානයේ පදිංචිකරුවෙකි. වෘත්තියෙන් ගොවියකු වන ඔහු කුඹුරේ පැල් රැකීමට ගොස් පාපැදියෙන් උදෑසන නිවෙසට යමින් සිටියදී වනඅලි ප්රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි. රජවිගම සුසාන භූමිය ආසන්නයේදී එල්ල වුණු මෙම වන අලි ප්රහාරයෙන් මියගොස් ඇත්තේ එල්.ඒ. චන්ද්රපාල නමැති ගොවියෙකි. මේ අතර නාරම්මල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල් කල්ප මධුෂාන් නමැති නිලධාරියා නිවාඩු ලබා වවුනියාව මාමඩුවේ නිවෙසට පැමිණ සිටියදී ඔහුද පෙරේදා (16) වනඅලි ප්රහාරයකට ලක් විය. වවුනියාව රෝහලට ඔහු ඇතුළත් කර ඇතැයි මාමඩුව පොලිසිය කියයි.
මියගොස් ඇති වනඅලි දෙදෙනාගෙන් එක් වනඅලියෙක් මියගොස් සිටින්නේ මීගස්වැව බොරුපන්විල රක්ෂිතය තුළ බව පොලිසිය කියයි. එම වනඅලියා මිය යෑමට හේතුවක් අනාවරණය නොවන බව ද පොලිසිය කියයි.