Home » ආහාර හිඟයක බියක් ඇති කරගන්න එපා 

ආහාර හිඟයක බියක් ඇති කරගන්න එපා 

රටින් හාල් ගේන්න අවශ්‍ය නෑ - හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි

by mahesh
August 18, 2023 12:57 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

ලබන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් රට තුළ පවතින සහල් හා වී තොග ප්‍රමාණවත් වන බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම අතිරේක ආහාර භෝග වන මුංඇට, කවුපි, උඳු, රටකජු හා කුරක්කන් ද අවශ්‍ය තරම් තොග රට තුළ පවතින බැවින් ආහාර හිඟයක් ඇති වීම සම්බන්ධව බියක් ඇති කරගත යුතු නැති බව ද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

කෘෂිකාර්මික අංශයේ තොරතුරු හා දත්ත රැස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) එම අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණ.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණික අංශයේ නියෝජිතයන් සහ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

දැනට පවතින කාලගුණික තත්ත්වය රටේ ආහාර සුරක්ෂිතතාව උදෙසා සිදු කළ හැකි බලපෑම සම්බන්ධව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිලධාරින්ගෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසීය. එහිදී එම නිලධාරින් පෙන්වා දුන්නේ දැනට සිදු කර තිබෙන පුරෝකථනයන් අනුව රට තුළ පවතින සහල් හා වී තොග 2023/24 මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් ප්‍රමාණවත් වනු ඇති බවයි. මේ නිසා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැනනොනඟිණු ඇති බවත් ඔවුහු අවධාරණය කළහ. එමෙන්ම කුකුළු මස් හා බිත්තර ද මෙම වසර අවසන් වන තෙක් පරිභෝජනයට අවශ්‍ය තරම් පවතින බවත් එළවළු මිල ඉහළ යෑම පවතින නියඟය හමුවේ තවදුරටත් පවතින අයුරින්ම තිබෙනු ඇතැයි ද එම මධ්‍යස්ථාන නියෝජිතයෝ පෙන්වා දුන්හ.

එම නිසා ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම අරක්ගෙන සිටින පවුල් හා නාඩි කොල්ලකරුවන්ගෙන් ගොවියා හා පාරිභෝගිකයා බේරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකසන බවත් ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ඇමැතිවරයා හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කළේය.

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය මඟින් පළ කරන ලද ‘Self- Sustainability and Dependency for Main Agricultural Foods in Sri Lanka’ නමැති, මෙරට කෘෂිකර්මාන්තයේ පවතින තත්ත්වය පිළිබඳ දත්ත හා කරුණු ඇතුළත් වාර්තාවක් බ්‍රිගේඩියර් සී.පී. අරංගල්ල මහතා විසින් මෙහිදී ඇමැතිවරයාට භාර දෙනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT