Home » පාස්ටර් ජෙරොම්ගේ රිට් පෙත්සම විසි කරන්න

පාස්ටර් ජෙරොම්ගේ රිට් පෙත්සම විසි කරන්න

ඇල්ලේ ගුණවංශ හිමියෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලති

by mahesh
August 18, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

බෞද්ධාගම ඇතුළු ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම නොමඟ යවනසුළු කරුණු ඇතුළත් කර සහ ඇතැම් සත්‍ය කරුණු වසන් කර ඉදිරිපත් කර ඇති බැවින් එය විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පිරිසක් විසින් අභියාචනාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර තිබිණ.

අදාළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු තිදෙනකු විසින්

නීතිඥ අශෝකා නිවුන්හැල්ල මහත්මිය මඟින් මෙම විරෝධතා ඉදිරිපත් කරන ලදි.

විදෙස් රටවල සංචාරය කරමින් වරින් වර විවිධ පෙත්සම් ඉදිරිපත් කර මෙරට අධිකරණවල බලය අවභාවිත කිරීමට දේවගැතිවරයා උත්සාහ කරන බවට එම විරෝධතා මඟින් පෙන්වා දී ඇත.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් බෞද්ධාගම ඇතුළු සෙසු ආගම් සියල්ල හෑල්ලුවට ලක් කරමින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මඟින් ඔහු දණ්ඩ නීති සංග්‍රහය හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් කර ඇති බවට එමඟින් පෙන්වා දී තිබේ.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැදීම කළ අතර, ඔහු වරදක් කර ඇති බව එමඟින්ම පිළිගෙන ඇතැයි එම විරෝධතාවල සඳහන් වේ.

බෞද්ධාගම සම්බන්ධයෙන් අපහාසාත්මක වැරදි ප්‍රකාශ සිදු කළ නතාෂා එදිරිසූරිය සහ රාජාංගණයේ සද්ධාතිස්ස හිමි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට මේ වන විට ඇප මත මුදාහැර ඇති බව එහි දැක්වේ.

මෙම දේවගැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් දී තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා එම නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව එමඟින් පෙන්වා දී ඇත.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් නොකළ බවට කරුණු සඳහන් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මඟින් අධිකරණය මඟහැරීම සඳහා නීත්‍යනුකූල අවසරයක් ගැනීමට පෙත්සම්කරු උත්සාහ කරන බව මෙම විරෝධතා මඟින් පෙන්වා දී තිබිණ.

මෙම පෙත්සම මඟින් පවසන පරිදි දේවගැතිවරයා වරදක් කර නැතිනම් නීතිය මඟ නොහැර මෙරටට පැමිණ විමර්ශනයට සහාය දිය හැකි බව ද මෙම විරෝධතා මඟින් පෙන්වා දී තිබිණ.

එහෙත් ඔහු විමර්ශනවලට සහාය නොදක්වා විදේශගතව සිටීම මඟින් ඔහු අධිකරණය මඟහැර සිටීමට උත්සාහ කරන බව එහි දැක්වේ.

එබැවින් පෙත්සම්කාර දේවගැතිවරයා අධිකරණය වෙතින් ඉල්ලා ඇති සහන ලබාදිය නොහැකි බැවින් එම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස මෙම විරෝධතා මඟින් ඉල්ලීමක් කර ඇත.

ආගමික දේවමෙහෙයකදී බෞද්ධාගම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කළ බවට මහත් ආන්දෝලනයක් ඇතිවීමෙන් අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ඒ වන විටත් ඔහු විදේශගතව සිටි අතර, ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය මඟින් අවසර දී තිබිණි.

මෙම දේවගැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර, අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

අනතුරුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ කිසිදු සඳහනක් නොකර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළ අතර, ඔහුගේ නීතිඥවරුන් විසින් එය පසුව ඉල්ලා අස්කරගන්නා ලදි.

අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් මෙම රිට් පෙත්සම නැවත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT