“රෑ ගෙදර ඔක්කොම නිදාගෙන ඉන්න කොට මගේ මුනුපුරා එක පාරටම කෑගහන්න ගත්තා. ඒ සද්දෙට මට ඇහැරුණා. මම ඉක්මනින් නැගිටලා ලයිට් එක දාලා දරුවා අල්ලලා බැලුවා. ඒ එක්කම නයෙක් මගේ ඇඟට පැන්නා. පස්සෙ මම නයා අතින් අල්ලලා විසි කළා.” යැයි වයික්කාල්, පුලින්දනාරු, ධර්මපුරම් පදිංචි සිවලිංගම් සිවසෝදි (50) කියා සිටියාය.
අවුරුද්දයි මාස නවයක් වයසැති බිලිඳකුට නයෙක් දෂ්ට කිරීම හේතුවෙන් සිදු වූ මරණයක් සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණයේදී ඇය මේ බව පැවැසුවාය. මේ මරණ පරීක්ෂණය පෙරේදා (16) කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේ කොළඹ හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.
මිය ගිය දරුවාගේ මිත්තනිය වැඩිදුරටත් සාක්ෂි දෙමින් මෙසේ ද කීවාය.
“මිය ගියේ මගේ පුතාගේ පුතා. ඒ කියන්නේ මගේ මුනුපුරා. මුනුපුරාට වයස අවුරුද්දයි මාස නවයයි. මේ පොඩි දරුවා හදා ගන්නේ මමයි මගේ මහත්තයයි. ආර්ථික අපහසුතා නිසා පුතයි එයාගේ බිරිඳයි දුර ඈතක සේවයට ගිහින්. ඔවුන් දෙදෙනාම රස්සා කරන්නේ මල්වාන ප්‍රදේශයේ. මේ මිය ගිය දරුවා හැමදාම නිදියන්නේ මාත් එක්ක. රෑ දරුවාගේ කෑ ගැහිල්ලට මම නැගිට්ටා. පස්සෙ දරුවාගේ ඇඳුම ගලවලා බැලුවා. එතකොට අපි දැක්කා, නයා දරුවගේ අත හපාකාලා කියලා.
නයාගේ ඇඟේ ඩොට් තිබුණා. ගෙදර දොර ජනෙල් වහලා දාලයි තිබුණේ. දොරවල්වල යටින් ඇති පොඩි සිදුරුවලටත් අපි ගෝනි දාලා හිරකරලයි තියෙන්නේ. මේ නයා මට හිතෙන විදියට අඩි 4ක් 5ක් විතර දිගයි. මේ නයා කොහෙන් ගෙට ආවද කියලා හිතා ගන්න බෑ. පස්සෙ මගේ මහත්තයා නයාට ගහලා මරලා බෝතලයකට දැම්මා. දරුවා ධර්මපුරම් ඉස්පිරිතාලෙට ඇතුළු කළා. එතැනින් දරුවා කොළඹ ළමා රෝහලට මාරු කළා. එහිදී දරුවා මිය ගියා. ”
මිය ගිය දරුවාගේ මව වන ගනේෂන් මානවලෙච්චමී ද (31) මෙලෙස සාක්ෂි දුන්නාය.
“මම ගාමන්ට් එකක වැඩ කරනවා. අපි විවාහ වෙලා අවුරුදු තුනයි. මගේ මහත්තයා මල්වාන කඩයක වැඩ කරනවා. මහත්තයයි මමයි එයා වැඩ කරන තැන නැවතිලා ඉන්නේ. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මේ නැති වෙලා ඉන්නේ මගේ පුතා. දුව ඉන්නේ හැටන්වල මගේ අම්මා ළඟ. නැති වුණ මේ පුතා හිටියේ මහත්තයාගේ අම්මා ළඟ.
ඊයේ දහවල් 12ට විතර මහත්තයා මට කෝල් කරලා කිව්වා, පුතාට නයෙක් ගහලා කියලා. රෑ නිදියගෙන ඉන්න කොට තමයි මේ නයා ගහලා තියෙන්නේ. පස්සේ දරුවාගේ කෙදිරිගෑවිල්ලත් එක්ක මහත්තයගේ අම්මා බලලා තියෙනවා. ඒ එක්කම එයා දැක තියෙනවා, නයෙක් ඉන්නවා. එකපාරටම ඒ නයා නැන්දම්මාගේ ඇඟට පැනලා. එයා නයාව එකපාරටම අතෙන් අරන් එළියට විසි කරලා. ඊට පස්සෙ මහත්තයාගේ තාත්තා ඒ නයා මරලා. එවලේම දරුවා ඉස්පිරිතාලෙට අරන් ගියා කියලා දැන ගන්න ලැබුණා.”
බොරැල්ල පොලිසියේ පොලිස් සැරයන් 67072 කීර්ති සාක්ෂි මෙහෙයවූ අතර, අධිකරණ වෛද්‍ය ඩී. එම්. එල්. සේනානායක මහතා විසින් මිය ගිය දරුවාගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලදි.