කතෝලික ප්‍රජාවට අයත් පුද්ගලයන් දෙදෙනකු කුරානයට අපහාස කළ බව කියමින් සිය ගණනක මුස්ලිම් පිරිසක් පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර පිහිටි කතෝලික දේවස්ථාන සහ කතෝලික ජාතිකයන්ගේ නිවාස රැසක් ගිනි තබා විනාශ කර ඇතැයි එරට පළවන ‘ඩෝන්‘ ඉංග්‍රීසි පුවත් සේවය වාර්තා කළේය. ෆයිසලාබාද් නුවර ජරන්වාලා ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන 5ක් එසේ විනාශ වී ඇතැයි ද කතෝලික ජාතිකයන්ගේ නිවාස රැසක් ද ගිනිබත් කර ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු මුස්ලිම් ජාතිකයන් කතෝලික ජාතිකයන්ගේ නිවාස ගිනි තැබීමට සහ මංකොල්ලකෑමට පටන් ගත් බවත්, එය මැඬ පැවැත්වීමට ප්‍රභු ආරක්ෂක බළකායට අයත් සෙබළුන් මෙන්ම විවිධ පොලිස් ස්ථානවලට නිලධාරීන් 3,000කට වඩා යොදවා තිබූ බවත් වාර්තා වේ. තත්ත්වය සැලකිල්ලට ගෙන එම පළාතට ජනතාව ඒකරාශී වීම තහනම් කෙරෙන ‘144 වගන්තිය‘ බලාත්මක කර ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ මුස්ලිම් ජාතිකයන් 146 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මේ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී විමර්ශනක් සිදු කිරීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පත් කළ භාරකාර අගමැති අන්වර් උල් හක් විසින් නියෝග නිකුත් කරනු ලැබු බව ද ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.
කතෝලික දේවස්ථානවලට සහ ඔවුන්ගේ නිවාසවලට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් එරට හිටපු විදේශ ඇමැති සහ පාකිස්තාන මහජන පක්ෂයේ සභාපති බිල්වාල් භූතෝ ප්‍රකාශ කර ඇති අතර, එරට සුළුතර ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය පැතිරීම පිළිබඳ අමෙරිකාව ද කනස්සල්ලට පත් වී ඇතැයි වාර්තා වේ.