Monday, April 21, 2025
Home » චීනයේ විරැකියාව ඉහළට

චීනයේ විරැකියාව ඉහළට

by mahesh
August 18, 2023 1:00 am 0 comment

චීනයේ තරුණ විරැකියාව අඛණ්ඩව වාර්තාගත අයුරින් ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය තරුණ විරැකියා මාසික දත්ත නිකුත් කිරීම නවතා දැමීමට ද පියවර ගෙන ඇතැයි සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය.

රජය මෙවැනි පියවරක් ගැනීම සමාජ මාධ්‍යවල උපහාසයට ලක්වූ කාරණාවක් ද වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

අවසන් වරට පසුගිය ජූනි මාසයේදී නිකුත් කළ චීනයේ තරුණ විරැකියා දත්තවලට අනුව අවුරුදු 16 සිට 24 දක්වා තරුණ පරපුර අතර විරැකියා අනුපාතය 21.3% දක්වා ඉහළ ගොස් තිබූ බවත්, ආර්ථික පසුබෑමකට ලක්වීමෙන් පසු මෑත මාස කිහිපය ඇතුළත එම අගය අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවලින් සඳහන් වේ

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රකාශකයකු වන ෆූ ලිංහුයි සඳහන් කර ඇත්තේ වත්මන් සංඛ්‍යාලේඛන යාවත්කාලීන සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය බැවින් දත්ත නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමූ බවකි.

අදාළ වයස් කාණ්ඩයේ සිසුන්ගේ සංඛ්‍යාව වර්ධනය වී ඇති අතර, ඔවුන්ගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ රැකියා සෙවීම නොව ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කිරීම බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. උපාධියට පෙර රැකියා සොයන සිසු සිසුවියන් මේ දත්ත වාර්තාවලට ඇතුළත් කළ යුතුද යන්න සොයා බැලීමට වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බවත් චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රකාශක ෆූ ලිංහුයි සඳහන් කළ බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

වයස් පරාසය නිර්වචනය කිරීමට වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය බවත්, තරුණ පරපුර වසර වැඩි ගණනක් පාසලේ ගත කරන බවක් කියමින් ඔහු අවධාරණය කර ඇත්තේ දැනට පවතින දත්ත ක්‍රමවේදය වැඩිදියුණු කිරීමෙන් පසු නැවත දත්ත නිකුත් කරන බවය.

එසේ වුවද චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය මේ පියවර ගෙන ඇත්තේ අඛණ්ඩව වාර්තාගත අයුරින් තරුණ විරැකියාව ඉහළම මට්ටමට පැමිණීමෙන් පසුව වීම කැපී පෙනේ.

පසුගිය අප්‍රේල් මාසයේදී එරට තරුණ විරැකියා අනුපාතය 20.4% ක අගයක් ගෙන ඇති අතර, මැයි මාසයේදී එය 20.8% දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වසරේදී වාර්තාගත උපාධිධාරීන් මිලියන 11.6ක් රැකියා සොයමින් සිටින බවත්, පශ්චාත් වසංගත සමයෙන් පසු එළැඹුණු දෙවැනි කාර්තුවෙන් පසුව චීන ආර්ථිකය වේගය අඩාළ වූ බැවින් එරට තරුණ පරපුරේ අනාගත අපේක්ෂාවන් අඳුරට තල්ලු වෙමින් පවතින බවත් සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT