අදට යෙදෙන ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.
ජෙනරාල් හැමිල්ටන් වනසිංහ 1988 අගෝස්තු මස සිට 1991 නොවැම්බර් මස දක්වා ශ්‍රී ලංකාවේ 11 වන හමුදාධිපති ධුරය දරන ලද සුවිශේෂ සෙන්පතිවරයායි. එපමණක්ම නොවේ, ඉන්පසු ත්‍රිවිධ හමුදාපති ධුරයේත් ආරක්ෂක ලේකම් ධුරයත් හෙබ වූ එකම හමුදා නිලධාරියා වූයේත් ජෙනරාල් හැමිල්ටන් වනසිංහයි. හේ 1995 වර්ෂයේදී සිය 42 වසරක ගෞරවාන්විත හමුදා දිවියට සමු දුන්නේය. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අද විවේක සුවයෙන් දිවි ගෙවන්නේ සිය ජීවන ගමන් මඟේ 90 වැනි වියට පා තබමිනි. මේ සටහන ලියැවෙන්නේ ඒ වෙනුවෙනි. එය මෙරටට ඔහු විසින් සිදු කළ සේවාවට කෘතගුණ දැක්වීම හා උපහාරයක් ද සේ සලකමු.
වර්ෂ 1933 අගෝස්තු මස 18දා ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වාන කළුකොඳයාව ගම් පියසේ උපත ලද හැමිල්ටන් වනසිංහ දරුවා පවුලේ දෙවැනි දරුවා විය. දෝන චාලට් චූටි කොතලාවල හා ඉඩම් හිමි වැවිලිකරුවකු වූ හෙන්රි වනසිංහ ඔහුගේ මවුපියෝ වූහ. කුඩා හැමිල්ටන් දරුවාට වයස අවුරුදු 3 පිරෙන්නටත් මත්තෙන් ඔහුගේ මව අකාලයේ දෑස් පියා ගත්තාය. කුඩා හැමිල්ටන් හා සොහොයුරා හදා වඩා ගත්තේ පියාගේ සොහොයුරියෝ විසිනි. වනසිංහ අයියා, මලෝ දෙදෙනාට කුඩා කාලේ පටන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ගම්පහ රජයේ පාඨශාලාවට ඇතුළත් කිරීමට තරම් දූරදර්ශී වූයේය. නමුත් එම පාසල කුඩා හැමිල්ටන්ට දොරගුළු විවර නොවීය. ඒ අන් කිසිවක් නිසා නොව මේ කුඩා දරුවාට වයස සම්පූර්ණ නොවීම හේතුවෙනි. කෙසේ වෙතත් BTS school නමින් හැඳින්වූ බුඩිස්ට් තියෝසෆිකල් සොසයිටි නම් සිංහල පාසලට ඇතුළත්ව සිය ඉගෙනුම් වපසරිය පුළුල් කර ගැනීමට ඔහුට හැකිවිය. එය ඔහුගේම වචනවලින් මෙසේයි.
එංගලන්ත පුහුණුව
“මම ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා විදියට සමත් වෙලා තිබුණා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එවලා තිබුණු ටෙලිග්‍රෑම් එකත් අරන් ගම්පහෙන් හයර් එකට කාර් එකකුත් අරගෙන අපේ හෙඩ් මාස්ටර් මාවත් එක්කරගෙන අපේ තාත්තාව හම්බවෙන්න ඒ වෙලාවෙම අපේ ගෙදරට ආවා. ඒක මට සතුටට කරුණක්. මට හිතෙන්නේ ඒක මටත් වඩා හෙඩ් මාස්ටර්ට සතුටට කාරණයක් වුණා.”
ඉන් පස්සේ ඔහුගේ පාසල් භූමිය වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයයි.
“ඒ කාලෙ දෙවෙනි ලෝක යුද්දෙ හින්දා ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් ගම්පහට ගෙනාව. 1946 ආපහු ගම්පහ ශාඛාව කොළඹට ගෙනාවා. ඒ වෙලාවේ අයියායි, මාවයි කොළඹ ආනන්ද විද්‍යාලයේ බෝඩිං කෙරුවා. කොලේජ් හොස්ටල් එකේ ඉන්න අපි ක්‍රීඩාත් කෙරුවා. කැඩෙට් ප්ලැටුන් එකෙත් හිටියා. ඒ කාලේ කැඩෙට් යුනිෆෝම් එක ඇඳපුවාම පුදුම කඩවසම්කමකුත් ආඩම්බරයකුත් දැනුණා. ඔය කාලේ අයියත්, ආමි එකට ගිහින් හිටියේ. කොහොමත් අපි තරුණ කොල්ලෝ හැටියට යුනිෆෝම් අඳින්න ලොකු කැමැත්තක් දැක්වූවා. අයියා පියවංශ වනසිංහ. එයා ආමි එකට ගිය අවුරුද්දේ එයාගේ කණ්ඩායමේ පළමුවැනියා වුණා. මමත් හමුදාවට බැඳුණා. මම එංගලන්තෙ පුහුණුවට යන්න කලින් දියතලාවෙදි පුහුණුව ලැබුවා. සාමාන්‍ය පෙළ පොදු සහතික පත්‍ර විභාගය කරපු ගමන් තමයි හමුදාවට බැඳුණේ. කැඩෙට් කරනකොට උදේ නවය විතර වෙනකම් අපිට පුහුණුවීම් තිබුණා. මරදානෙ ස්ටේෂන් එකේ ඉඳලා හුනුපිටිය ස්ටේෂන් එක දක්වා ට්‍රේනින්වලට දුවපු කාලයක් තිබුණා. ඩබල් ප්‍රෙමෝෂන් ලැබිලා ඉහළට ගියාට ඉගෙනුමට වඩා ක්‍රීඩාවට තමයි හිත ගියේ.”
ඉවසීමේ නිපුණතාවය
හැමිල්ටන් වනසිංහ නම් කඩවසම් හා නිර්භීත සොල්දාදුවා හමුදා සේවයට සක්සුදක් සේ ගැළපුණේය. සෙරමෝනියල් ආමි නමින් වූ එවකට හමුදාවේ ප්‍රධානතම රාජකාරිය වූයේ උත්සව කටයුතු සඳහා සහභාගි වීමයි. හැමිල්ටන් වනසිංහ නම් වූ මේ තරුණ සොල්දාදුවාද මෙකී අවස්ථා නියෝජනය කළ අතර, එහිදී ඔහු කැපී පෙනෙන චරිතයක් බවට පත් වීමට වැඩි කලක් ගත නොවීය. මනා පුහුණුව හා සේවා කාලයේ ලත් අත්දැකීම මතින් ඔහුට හමුදා රාජකාරියේ උසස්වීම් නිරායාසයෙන්ම හිමි විය. ආටිලරි හෙවත් බර අවි පිළිබඳවත් රේඩියෝ සිග්නල් පිළිබඳවත් හේ මනා පුහුණුවක්ද ලැබීය. මේ ආදී ආකාරයට ඔහු පිළිවෙළින් පසු කළ යුතු කඩඉම් රැසම කිසිදු අභියෝගයකින් තොරව පසු කළේය.
තවද ඔහු ඉවසීමේ නිපුණතාවය මනා සේ ප්‍රගුණ කළේය. මෙම සුවිශේෂ හැකියාව ඇගයූ ශ්‍රී ලංකා හමුදාව 1988 වසරේදී හමුදාපති ධුරය හැමිල්ටන් වනසිංහට පිරිනමන ලදි. මේ වන විට එතුමා ලුතිනන් ජෙනරාල් ධුරයෙන් අභිෂේකව ද සිටියේය. ඉන් පසුව 1991 වර්ෂයේ නොවැම්බර් මසදී ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රථම ෆෝ ස්ටාර් ජෙනරාල් ලෙස උසස්වීම් ලබා ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති වශයෙන් යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව යන ත්‍රිවිධ හමුදාවන්හිම අණදෙන නිලධාරියා ලෙස පත් කරනු ලැබීය.
කෙසේ වෙතත් වනසිංහයන්ට තම වෘත්තීය දිවියේ පසු කිරීමට සිදු වූ දරුණුතම කඩඉම වූයේ 88-89 කාලච්ඡේදයේ මෙරටේ පැවති කලකෝලහාල තත්ත්වයත් උතුරේ ත්‍රස්තවාදී යුද වාතාවරණ තත්ත්වයත්ය. උතුරත් දකුණත් ගිනිගෙන පවතිද්දී හමුදාපති ධුරයේ රාජකාරිය ඉටු කිරීම මොනතරම් භාර ධුර කටයුත්තක් වන්නට ඇද්ද?
ඔහුගේ පවුලේ සාමාජිකයින් තුන් දෙනෙක්ම එවකට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් ලෙස සේවයට එක් වී ඇත. වනසිංහ පවුල රටේ සාමය හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පුද කළ පවුලකි. අවාසනාවකට මෙන් එම පවුලේ දරුවන් තිදෙනෙක්ම ජීවිත පුද කොට ඇත. ඒ, බ්‍රිගේඩියර් භාතිය වනසිංහ, කපිතාන් නලින් ජයතිලක හා මේජර් පණ්ඩුක වනසිංහ යන තිදෙනායි.
බාල පුතත් හමුදාවට
එවකට ජෙනරාල් වනසිංහ ඉතා උසස් නිලධාරියකු වූවා පමණක්ම නොවේ. හේ ඉතාම නිහතමානී පියකු සේම ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු ලෙසද සිය රාජකාරි ඉටු කොට ඇත. ජෙනරාල් වනසිංහ යුද භූමියක සේවය කරද්දී කොතරම් අවාසනාවන්ත සිදුවීම් සියැසින් දුටුවද ඒ සියල්ල පරදා ඔහුගේ සිත් සතන්හි නැඟී එන්නට ඇත්තේ රටත් ජාතියත් සතුරන්ගෙන් බේරා ගැනීම සිය පරම අභිලාෂය කොට සලකාය. ඒ උදාර සිතුවිල්ල කොතරම් ප්‍රබල වීද යත්, ඔහුගේ බාලම පුතණුවන් ද හමුදාවට භාර දීමට නොපැකිළුණේය. ඒ, වර්තමානයේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස සේවය කරන මේජර් ජෙනරාල් සංජය වනසිංහයි.
සංජය ද ශ්‍රී ලංකා හමුදා සේවයට නොමැකෙන සේවයක් ඉටු කළ රණවිරුවෙකි. සංජයට ආමි එකට බැඳෙන්න අවශ්‍ය වූ බව සිය පියා වූ ජෙනරාල් වනසිංහට කී අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ ඇප්ලිකේෂන් එකක් දාලා ආමි එකට බැඳෙන සාමාන්‍ය ක්‍රමය අනුගමනය කරන ලෙසයි. නමුත් බඳවා ගැනීම් පිළිබඳ නිලධාරියා සංජයගේ අයදුම්පත ලැබුණු වහාම ඔහු ජෙනරාල් අමතා “සර් සංජයගේ ඇප්ලිකේෂන් එක ගැන කලින් දැනුම් දුන්නේ නැත්තේ ඇයි” යන්න විමසා ඇත. ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ පිළිතුර වී ඇත්තේ,” මම නොකළ යුතුම දෙය තමයි, එයාලා මගෙන් ඇහුවේ. සංජය මගේ පුතා වුණත් නියමිත සුසුසුකම් සපුරලා තිබුණා නම් විතරයි හමුදාවට ගන්න පුළුවන් වෙන්නේ. මම බොහෝම ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක්. අපි හැදුණෙ විනයගරුක පරිසරයක. ඒක නිසා බලපෑම් කරලා සුදුසුකම් හදවන වැඩ මට පුරුදු නෑ. ඒ කාලේ මම බ්‍රිගේඩියර් කෙනෙක්. පුතා 88 පාස් අවුට් වෙනකොට මම ආමි කමාන්ඩර් හැටියට මගෙ පුතාව කොමිෂන් ලත් නිලධාරියෙක් විදිහට නම් කෙරුවා. ඒ සිදුවීම මුළු ලෝකයෙන්ම හරිම විරල අද්දැකීමක්. ඒ වගේම මම එංගලන්තෙ සෑන්ඩර්ස්වලදී හමුදා නිලධාරියෙකු හැටියට කොමිෂන් ලැබූ මොහොතේ මට ලැබුණු අසිපතම තමයි මම සංජයට දුන්නේ. ඒවා හරි දුලභ සිද්ධි. ඊට කලින් ලෝක හමුදා ඉතිහාසයේ හමුදා තාත්තලා පුතාලට කොමිෂන් පිරිනැමීම දෙවතාවක් සිදු වෙලා තියෙන බව ආරංචියි. එක කතාවක තියෙන්නේ, ජෙනරාල් මැක් ආතර් කියන හමුදා තාත්තා තමන් හදා ගත් පුතාට කොමිෂන් දීලා තියෙන බවයි. නමුත් තමන්ගෙම ලෙයින් බිහිවුණු සුජාත පුත්රෙයකුගේ හමුදා ජීවිතයට රාජකාරිමය වශයෙන් ආශීර්වාද කරන්න ලැබීම මං වගේ හමුදා තාත්තකුට හිතෙනවා. මගේ පවුලෙන් හරි මට ඥාති සබඳතා තියෙන කෙනෙක් හරි හමුදාවෙ හිටපු කිසි දවසක මං මගේ නිල බල පාවිච්චි කරලා එයාව බැට්ල් ෆ්රන්ට් එකට නොයවා හංගාගෙන ඉඳලා නෑ. උසස්වීම් දීලත් නෑ. එහෙම කරන්න නම් හමුදාවට යන්න ඕනෙත් නෑ” යන්නයි.
ජීවමාන සාක්ෂිකරුවා
එදා එනම්, වර්ෂ 1990 යුද ගැටුම් පැවති කාලයේ ඔහු තමාගේ රාජකාරිය හා යුතුකම් පිළිබඳ වරක් පවසා සිටියේ මේ ආකාරයටයි.
“1990 ස්නයිපර් යුනිට් එක පටන් ගත්තේ මම. කර්නල් රාජසිංහව තමයි ඒ සඳහා පිටරට ඉඳලා ලංකාවට කැඳෙව්වේ. දියතලාව MST නොහොත් සැඟවුණු හා ප්‍රගුණ වෙඩිකරු පුහුණු පාසල හැටියටයි ස්නයිපර් පුහුණුව ලබා දීම ආරම්භ කෙරුවේ. 2009 යුද්ධය අවසාන කරන මොහොත වන විට සංජය වනසිංහ තමයි ස්නයිපර් යුනිට් එකට අණ දුන්නේ. මට සතුටුයි යුද්දේ ඉවර කරන්න මගේ පුතා බැට්ල් ෆීල්ඩ් එකේදි ස්නයිපර් යුනිට් එක එක්ක දක්වපු දායකත්වය ගැන. එදා ප්රභාකරන්ගේ බළකොටුව වුණු පුදුකුඩුඉරුප්පුවල අණ දෙන නිලධාරියා හැටියට කටයුතු කළේ මගේ පුතා කර්නල් සංජය වනසිංහ. හමුදාපති කෙනෙක් හැටියට මම මගේ රාජකාරියත්, හමුදාපති තාත්තෙක් හැටියට මම මගේ යුතුකමත් මගේ රට වෙනුවෙන් ඉටු කෙරුවා කියන අභිමානය මට තියෙනවා.”
මෑත ඉතිහාසයේ සිදු වූ තීරණාත්මක සිදුවීම් රැසක ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා ප්‍රබල ජීවමාන සාක්ෂිකරුවෙකි. තවද ජෙනරාල් වනසිංහ මහතා රටට අතිවිශිෂ්ට සේවාවක් ඉටු කළ නිලධාරියෙකි. විටෙක ඔහු නිර්භීත සෙබළෙකි. ඒ වගේම තවත් විටෙක නිර්භීත සෙන්පතියෙක්ද වූයේය. මෙවන් අභීත නිල දරුවෙකු තමාට පැවරුණු යුග මෙහෙවර නිසි ආකාරයටම හා අකුරටම ඉටු කිරීම ගැන ඔහු අද නිහතමානී ආඩම්බරයකින් පසු වෙනවා ඇත. එපමණක් නොව මෙවන් අභීත සෙන්පතියන්ගේ සේවය ලත් මවුරටත් එහි වැසියනුත් පුණ්‍යවන්තයෝ නොවේද? කෙසේ වෙතත් සැමදා මරණ බියෙන් තැති ගෙන සිටි රටට සතුරන් පරදා සැනසීමක් සතුටක් ගෙන දීමට සම්බන්ධ වූ පුරෝගාමීන් අතරට ජෙනරාල් හැමිල්ටන් වනසිංහ නාමය ද රන් අකුරෙන් සනිටුහන් වී ඇත.
එසේම ජෙනරාල් හැමිල්ටන් වනසිංහ නම් වූ මේ අභීත විරුවා ගැන කතා කිරීමත්, ඇගයීමට ලක් කිරීමත් අද දවසේ අපගේ යුතුකම හා වගකීමද වේ. ශ්‍රී ලාංකිකයෝ වනාහි කළගුණ දත් ජාතියක් බව සනිටුහන් කිරීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. මෙය යුග මෙහෙවරක් නිමා කොට තවත් අනාගත පරපුරකට, ජාතියකට පණ දෙන්නට තම ලෙයින් උපන් දරුවන්ද ජාතියට දායාද කළ උත්තම ගණයේ පියෙකුට ජාතියක් කරන උපහාරය ද වන්නේය. එසේ හෙයින් ඔහු රටට කළ එම සේවය ගැන මුළු මහත් ලක්වැසි ජනතාවම ආඩම්බරයට පත්වනු නිසැකය.
වසර ගණනාවක් තිස්සේම අබලන් වී තිබුණු ජෙනරාල්වරයාගේ මුල් ගෙදරට යන මල්වාන දොම්පේ මාර්ගය සංවර්ධනය කොට ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත නමින් නම් කොට ඇත්තේද ඔහුට කරන උපහාරයක් ලෙසිනි. අද මෙහි නිතර දෙවේලේ ගමනාගමනයේ යෙදෙන මගී ජනයාගේ මුවඟ රැඳෙන නාමය ජෙනරාල් හැමිල්ටන් වනසිංහ බවට පත් වූයේ ඒ අනුවයි.
මවුබිමේ ආරක්ෂාවට යුදබිමට කැප කළ ජීවිතයක් උරුමව යුගයේ මෙහෙවර උදෙසා අභීතව සිය තරුණ කාලයම ගෙවා දැමූ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ නම් වූ අභීත සෙන්පතියා අද විශ්‍රාමික දිවියක් ගෙවා දැමුවද නිරතුරුවම තම අභීත යටගියාව සිහියට නැඟෙත්ම තුටු සිතින් පසුවනවා නොඅනුමානය. දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වූ ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ ජීවන ගමනට අත්වැල් සැපයූ ජීවන සහකාරිය ද අද ජීවතුන් අතර නැත. නමුත් ඔහුගේ පරමාදර්ශී ප්‍රතිරූපය හා ආත්ම ශක්තිය කිසිදා වියපත් නොවන බැව් නම් සත්‍යයකි.
අද දින 90 වැනි වියට පා තබන ජෙනරාල් හැමිල්ටන් වනසිංහට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරන අතරම දිගුකල් ජීවත් වීමට වාසනාව ලැබේවායි අපි ශුභාශිංසනය පතමු.