පරිණාමවාදය අනුව පැහැදිලි කරන්නේ නම් ඇඳුම යනු හෝමෝ සේපියන්ස්ගේ ශරීර සැකසුම අනුව උපත ලද්දකි. ශරීරයේ බාහිර අවයව වසා සිටීම සඳහා අඩු රෝම ප්‍රමාණයක් සමඟ හේ පරිණාමය වන විට ‘බඩු මුට්ටු’ ටිකට අවශ්‍ය ආරක්ෂාව අඩු විය. කලින් සිටි මානවයා වූ කලි, රෝම ගවසන ලද කබායක් හැඳ ගමන් බිමන් යන්නෙකු වැන්න. කම්මුල් දෙපස වෘත්තාකාර ප්‍රදේශය, අතේ සහ පයේ ශරීර තුළට බරවූ ප්‍රදේශය හැරුණු කළ, අන් සියල්ලම රෝමයන්ගෙන් වැසී යන තරමේ ඝනාවරණයක් හේ සතු විය. ඒ අවස්ථාවේ කෘමි කරදර ආදිය තිබුණේ, මේ රෝමාවරණයටය. පරිණාමයේ සඳහන් වන්නේ නූතන මානවයා, රෝම අවම අයෙකු ලෙසය. රෝම අඩු නිසා, දැන් කෘමි උවදුරු ආදිය සඳහා ශරීරය නිරාවරණය වේ. මේ සඳහා ලැබිය යුතු ආරක්ෂාව යන්න, ඇඳුමේ උපත විය. ඇඳුම සහ සැඟවීම යන්න ඊට කාලයකට පසුව බිහි වෙන්නට ඇත. ශරීර අවයව සම්බන්ධයෙන්, ලැජ්ජාව යන්න ඉපදෙන්නේ ඒ අනුවය.
සැඟවීම වනාහි මානව ‘ගවේෂණ මනසට’ වද දෙන වැඩකි. යමක් සැඟවූ කළ මිනිසා එය සෙවීමට පුදුම උනන්දුවක් දක්වන්නේය. නිරුවත සඳහා මාර්කට් එකක් සෑදෙන්නේ ඒ අනුවය. තොරතුරු තාක්ෂණය සඳහා ඩේටා අත්‍යවශ්‍යය. ලෝකයේ ඇති සියලු දැනුම, කී බෝඩ් එක සමඟ තිරයට එන්නේය. එසේ වුවත් වැඩිපුර, පුද්ගලික ඩේටා වියදම් වන්නේ, හුදකලාවේ සිටින විටය. ඒවා මානව චර්යාවන් සේම සීමාව ඉක්මවා ගිය කල්හි අසනීප ද වේ. මේවායේ ඇත්තේ ‘කැටගරි වයිස්’ කරන ලද වීඩියෝ හෙයින්, තම කැමැත්තේ අන්තයට යන තෙක්, ඒ දෙස බලන්නා, ඇබ්බැහිකාරයෙකු කරයි. පිරිමි ඇස සහ සිත, කලාවේ අයිතිකාරයා වූ විට නග්න ස්ත්‍රිය, චිත්‍රයේ සහ පිළිමයේ එළි දකින්නට විය. රෝමය ගියේ අනෙක් පැත්තටය. සුන්දර පිරිමි රුව ‘බල මානයේ’ ප්‍රතිරූපය’ විය. යුද වැදීම සහ වැඩි ශ්‍රමය යන්න, සහිතවූ වහල් සමාජයක, හැඩි දැඩි පිරිමියා යනු ලාභය සහ වත්කම් පෙන්වන ‘ශේෂ පත්‍රයක්’ බඳු විය. නිරුවතෙන් ක්‍රීඩා කරන පිරිමි ශරීරයේ ‘හැඩ පළුව’ රෝම ශිෂ්ටාචාරයේදී, ‘මාර’විය.
ඔහොම ගලාගෙන ආ ඉතිහාසයේ, එක් තැනකදී නිරුවත සමඟ එන ලිංගික කතිකාවත පමණ ඉක්මවා ගියේය. අසූව දශකයේ මැද සහ අනූව දශකයේ මුල, සීදේවි පත්තරය පාසල් පොත් බෑග් ඇතුළෙන් හමු වන්නේ ඒ අනුවය. අද නම් පත්තර ඇත්තෙම නැත. දැන් ප්ලේ බෝයි සඟරාව ද විකිණෙන්නේ නැති තරම්ය. එහෙම අනුන්ගේ ඒවා බලා, පව් පුරවා ගන්නා අතරේ, අතට කැමරාව ආ විට, ළඟ එකාගේ ඒවා අරං තබා ගැනීමේ ආශාවක් අපේ එවුන්ගේ මනසට කාන්දු විය. මුලදී ඒවා රහසේ බලා හෝ දන්නා කියන එකාට පෙන්වීම සඳහාය. අද ඒ කතාව සපුරා වෙනස්ය.
කඩයකට ෆෝන් එකක් හදන්නට ආ විගස, එහි කොලුවා කරන්නේ එහි ඇති පින්තුර ගැලරිය සර්ච් කිරීමය. කාන්තාවක් පරිහරණය කළ දුරකතනයක් නම්, ට්‍රැෂ් එකේ සිට සෝදිසි කරන්නේය. හිස්ට්‍රිය පීරා බලන්නේය. මේ ෆෝන් කෙරුවාව දැන් තනිකරම ‘පෝන් කෙරුවාව’ බවට පත්වී තිබේ.
එක්කෝ හොරාට කරන වීඩියෝය. පින්තූර ගැනීම්ය. නැතිනම් කැමැත්තෙන් කරන ඒවාය. තරහ වූ පසු ඒ සියල්ල කප්පම් සඳහා අවශ්‍ය ආම්පන්නය. මේ ජාතියේ කතා දෙක තුනක්, නිවුස් ලෙස දිනකට මාධ්‍යයට ලැබේ. කවුරුත් දන්නා කියන නිළියකගේ දියණියක්, එවන් අකරතැබ්බයකට පසුගියදා මුහුණ දෙනු ලැබීය. දියණිය සහ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් ඔස්සේ එහෙට මෙහෙට යවා තිබුණේ, දියණියගේ යෙහෙළියක විසිනි. ඒ ගැන පැමිණිල්ලක් ආ පසු, සිද්ධිය අධිකරණය තෙක් දුර ගියේය.
රටේ එවුන් ‘වටේට යවන එක’ අපට නතර කරන්නට බැරිය. හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝපෙස්ගේ ‘අයි ක්ලවුඩ්’ එක වෙත ඇතුළු වූ හැකර්කාරයෙකු, අර ජාතියේ සෙල්ෆි බර ගණනක් එයින් සොරා ගත්තේය. වහ වහා ඒවා සයිබර් අවකාශයට මුදා හැරියේය. ජෙනිෆර් නඩු ගියාය. බඩු ලෝකය වටේ ගියේය. සරල න්‍යාය මෙය හෙයින්, අනෙකාගේ බෙදාහැරීමේ ‘බාල ආශාවට’ පමණක් අප දොස් පැවරිය යුතු නැත. මේ ජාතියේ වීඩියෝ, ෆොටෝ බොහොමයක් ගන්නේ හොරෙන් නොවේ. විශ්වාසය වැඩිම අවස්ථාවේදී, එකඟතාවයෙනි. ඊට පස්සේ කතාව ‘නාඩි වැටෙන’ හැම කෙනාම දන්නේය.
මේ නිසා පළමුව මේ අවස්ථාව ලබා නොදිය යුතුය. මතක සැමරුම් ආදිය සඳහා හෝ සුන්දරත්වය මතක තබා ගැනීම සඳහා ඕවා ගන්නේ මුත්, ලීක් වූ විට, නා ගැනීමේ කෙළවරක් නැත්තේය. ඊට පස්සේ ඕවා පත්තරේ ද යන්නේය. ඒවා නිවුස් ලෙස දැමූ කළ, ගත්ත ඒකාගේ මෝඩකම සහ ප්‍රචාරය කළ එකාගේ අමනකම ඉක්මවා බැණුම් අහන්නේ පත්තරේය. එවැනි නිවුස්වලින්, පමණක් දිනකට පත්තරයක් කළ හැකි තරමට, ඒ ගණයේ අපරාධ දිනපතා වාර්තා වන්නේය.
මෙය මිනිසුන්ගේ ජීවිත සමඟ කරන සෙල්ලමකි. ආත්ම ගරුත්වය සමඟ ඔට්ටු දැමීමකි. හොරෙන් නොගත් සියල්ලේම වැරැදිකාරයා, කැමැත්තෙන් පින්තූරයට සිටිය එකාය. මෙච්චරට සීන් වාර්තා වෙද්දී, වැඩේ තේරෙන්නේ නැත්නම්, ඒකට ද දඬුවමක් දිය යුත්තේය. හරියට පිරමීඩ හි ආයෝජනය කරන එකා ද ජාවාරම්කාරයා සේම වැරැදි ලෙසිනි.