Home » මෙරට නිදහස් අධ්‍යාපනය ගැන දකුණු කොරියාවේ සරසවි සිසුන් පුදුම වෙයි

මෙරට නිදහස් අධ්‍යාපනය ගැන දකුණු කොරියාවේ සරසවි සිසුන් පුදුම වෙයි

by chanaka
August 17, 2023 4:58 pm 0 comment

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන අසා තමන් මවිත වු බවත් ශ්‍රී ලංකාවේනිදහස් අධ්‍යාපනයෙන් බිහිවන ශිෂ්‍ය පරම්පරාව ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා සුවිශේෂී කාර්යයභාරයක් ඉටුකරනු ඇතැයි කියා තමන් විශ්වාසකරන බවත් දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් ප්‍රකාශ කරති.

දකුණු කොරියාවේ සරසවි සිසුන් මේ බව ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු වු අවස්ථාවේදීය.

දකුණු කොරියාවේ අධ්‍යාපනය නොමිලේ ලැබෙන්නේ ඉතාමත් සීමිත සිසුන් පිරිසකට බවත් නමුත් ශ්‍රී ලංකාවේ පාසල්වල සිට විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබා පිටවෙනතුරුම අති බහුතරයක් සිසුන්ට තවමත් නිදහස් අධ්‍යාපනය ලබාගැනීමට හැකිවීම ගැන තමා සතුටට මෙන්ම පුදුමයටද පත්වන බවත් දකුණු කොරියානු සරසවි සිසුහු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළහ.

නුවරඑළිය ශාන්තිපුර ග්‍රා‍මයේ පාසලක සිසු දරු දැරියන් වෙනුවෙන් ස්වේච්ජාවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකට සහභාගී වීම සඳහා මෙම දකුණු කොරියානු සරසවි සිසු සිසුවියෝ මෙරටට පැමිණ සිටිති.
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන ඔවුන් තුළ දැඩි උනන්දුවක් තිබුණු අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් විමසු තොරතුරුවලට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිතුරු ලබාදෙන ලදී.

දකුණු කොරියාවේ යොන්හැමි, තේගු, චොම්මුංග් යන විශ්ව විද්‍යාලවල සිසුන් පිරිසක් මෙසේ පැමිණ තිබේ.
සංස්කෘතිමය වශයෙන් වැඩසටහන් පැවැත්වීම, සෞඛ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම් යම් පුහුණු වීම් ලබාදීම පාසල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම, ශරීර සුවතා වැඩසටහන් පැවැත්වීම, ක්‍රීඩා තරඟ පැවැත්වීම ඇතුළු වැඩසටන් සිදුකරමින් සතියක පමණ කාලයක් මෙම සිසුන් පිරිස නුවරඑළියේ ශාන්තිපුර ප්‍රදේශයේ රැඳී සිටිනු ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් දරු දැරියන් වෙනුවෙන් ඉදිරියේද විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සහාය ලබාදීමට දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සුදානම් බව එම සිසුහු මෙහිදී ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවට විවිධ අංශවලින් නිරන්තරයෙන් දකුණු කොරියාවේ සහාය හිමිවන බවත් දකුණු කොරියාවේ සරසවි සිසුන් ස්වේච්ජාවෙන් මෙවැනි වැඩසටහන්වලට ඉදිරිපත් වීම තුළින් දෙරටේ මිත්‍රත්වය තවත් ගොඩනැගෙන බවත් මෙම දකුණු කොරියා‍නු සිසු පිරිසට ශ්‍රී ලංකාව වෙනුවෙන් තමා විශේෂ ස්තූතියක් පිරිනමන බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම දකුණු කොරියාවේ සිසුන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවීමට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාව සෙමාවුල් පදනමේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂක Choi Sung Woo, දකුණු කොරියාවේ සෙමාවුල් පදනමේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරී Min Sung Ho යන මහත්වරුද සහභාගී වුහ.

දකුණු කොරියාවේ සෙමාවුල් පදනම (SaemaulFundation) විසින් මෙම ස්වේච්ජා වැඩසටහන සංවිධාන කරයි.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගය මීට හිමිවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT