Monday, April 21, 2025
Home » ඉන්දීය නාවික හමුදාවේ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට

ඉන්දීය නාවික හමුදාවේ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට

by chanaka
August 17, 2023 4:39 pm 0 comment

77 වන ඉන්දීය නිදහස් දිනය හා ශක්තිමත් ඉන්දියා – ශ්‍රී ලංකා සබඳතා සමරමින් ඉන්දීය නාවික හමුදාවේ ඩෝනියර් ගුවන් යානයක් පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දෙන ලදී.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති අභිමානවත් උත්සවයකදී මෙම ගුවන් යානය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා වෙත භාර දීඹට කටයුතු කළේය.

ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ගුවන් යානය ඉන්දීය ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දුන් දෙවන ඩෝනියර් ගුවන් යානයයි. හරියටම වසරකට පෙර ‍එනම් 2022 අගෝස්තු 15 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත උත්සවාකාරයෙන් භාර දුන් පළමු ඩෝනියර් ගුවන් යානය නියමිත නඩත්තු කටයුතු සඳහා ඉන්දියාව වෙත පිටත් කෙරෙන අතර ඒ වෙනුවට මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කෙරේ.

ඉන්දීය නාවික හමුදාවේ මෙම අති නවීන ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ හැකියාවන් ඉහළ නංවනු ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බලපෑම් ගුණක‍යක් වනු ඇත. මෙම අවස්ථාවේ අදහස් දක්වමින් මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ප්‍රකාශ කළේ ඉන්දියාව අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන දැක්ම පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ ධාරිතා ගොඩනැගීම සහ තිරසාර වර්ධනය සඳහා කැපවීමෙන් කටයුතු කර ඇති බවයි. අනාගතයේ දී ඉන්දීය සහය ඇතිව අමතර ඩෝනියර් ගුවන් යානා ලබා ගැනීමත් සමඟ මෙම නියැළීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද එතුමා සඳහන් කළේය.

ඉන්දීය නාවික හමුදාවේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වීම මඟින් දෙරට අතර වර්ධනය වන සහයෝගය සහ මිත්‍රත්වය පිළිඹිබු වේ. පසුගිය වසරේදී ලබා දුන් ඉන්දීය නාවික හමුදාවේ ඩෝනියර් ගුවන් යානය සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සහ සෙවීම් සහ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය. ගුවන් යානයේ මෙහෙයුම් උපයෝජ්‍යතාවය ඉහළ මට්ටමක පැවති අතර සේවාවන් දෙක අතර SOP කටයුතු විධිමත් කිරීමට ද හැකි විය. මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කිරීම මගින් අපගේ සාගර ආරක්ෂා කිරීම දෙරට ජනතාවගේ ප්‍රගතිය සහ සෞභාග්‍යය උදෙසා සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමට ඉවහල් වනු ඇති බව ද මහ කොමසාරිස්තුමා අවධාරණය කළේය. එසේම, එය ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවට ලබා දෙන ඉහළ ප්‍රමුඛත්වය සංකේතවත් කරන බව ද මහ කොමසාරිස්වරයා පැවසීය.

ඉහළ සංවේදී පද්ධතියකින් සමන්විත මෙම ඩෝනියර් ගුවන් යානය මත් ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම, වෙනත් ජාවාරම් සහ සෙවීම් සහ මුදවා ගැනීම් වැනි කලාපයේ පොදු ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු හැකියාව වර්ධනය කරයි. සමුද්‍රීය ආරක්ෂාව, කොළඹ ආරක්ෂක පර්ෂදය විසින් හඳුනාගෙන ඇති ප්‍රධාන කුළුණක් වන අතර මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කිරීම, විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය සමුද්‍රීය තර්ජනයන්ගෙන් තොරව පවත්වා ගැනීමට දායකත්වය ලබා දෙනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT