Monday, April 21, 2025
Home » මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට මුහුණ දීමට ලංකාවට සහාය වීමට චීනය සූදානම්

මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට මුහුණ දීමට ලංකාවට සහාය වීමට චීනය සූදානම්

by chanaka
August 17, 2023 10:22 am 0 comment

මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ( wang hi )මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික, (විදේශ කටයුතු කොමිසම් කාර්යාලයේ අධ්‍යක්ෂ ) චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් ඊයේ(16) පැවැත්විණි.

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිං හි 7 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව මෙම හමුව සිදුවිය.

චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසනීය උපාය මාර්ගික හවුල්කරුවා වන අතර ශ්‍රී ලංකාව සැමවිටම චීනය සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවද අවධාරණය කළ චීන විදේශ අමාත්‍යවරයා මූලික අවශ්‍යතාවලට අදාළ ප්‍රශ්නවලදී චීනය සමඟ එක්ව සිටීම අගය කරන බව ද පැවසීය.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහාය දෙන අතර, ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් හුවමාරුව මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩිදියුණු කිරීමටත්, “දරිද්‍රතා උගුලෙන්” සහ “නොදියුණුවීමේ උගුලෙන්” මිදීමටත්, එහි කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමටත් චීනය උපකාර කරන බවට වැන්ග් යී මහතා ප්‍රතිඥා දුන්නේය.

ශ්‍රී ලංකාව එහි තාවකාලික දුෂ්කරතා ජයගෙන, ජාතික තත්ත්වයන්ට අනුකූලව සංවර්ධන මාවතක් සොයා ගන්නා බවටත්, පුනර්ජීවනය සහ සමෘද්ධිය සාක්ෂාත් කරගනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාව චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ වැදගත් සහභාගිවන්නෙකු සහ ප්‍රතිලාභියෙකු බව සඳහන් කළ ඔහු, චීන වෙළඳපොළ තවදුරටත් ගවේෂණය කිරීම සඳහා මෙම වැදගත් වේදිකාව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පාර්ශවය සාදරයෙන් පිළිගනු ලැබුවේය.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ලබාදෙන ස්ථිර සහයෝගය සහ දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට කාලෝචිත හා ඵලදායී සහය ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී චීනයට ස්තූති කළේය.

කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි දෙපාර්ශවය අතර ඉදිරි දැක්මක් සහිත ප්‍රමුඛ සහයෝගීතා ව්‍යාපෘති ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන අතර කලාපීය සම්බන්ධතාව සහ තිරසාර සංවර්ධනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට ආහාර ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීමට සහ ප්‍රධාන කර්මාන්තවල දියුණුව වේගවත් කිරීමට උපකාර කිරීම සඳහා ආර්ථිකය, වෙළඳාම සහ ආයෝජන, කෘෂිකර්මය, සංචාරක, බලශක්ති සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකාව චීනය සමඟ කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT